ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ඉඩමක් ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී කුරුම්බා කැඩීමට ගිය බහු කාර්ය සංවර්ධන සහයක නිලධාරියකු ඊයේ (16 වැනිදා) පොල් ගසෙන් වැටී දිවි අහිමි වී ඇත.
මෙලෙස දිවි අහිමි වූයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බහු කාර්ය සංවර්ධන ඉදුනිල් නමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම දෙදරු පියාට වයස අවුරුදු 14ක පිරිමි දරුවෙක් හා වයස අවුරුදු 08ක කලක සිට අසනීප තත්ත්වයෙන් පෙළෙන දියණියක් ද සිටින බවත් කෑගල්ල පොලිසිය කියයි.
ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පොල් ගම්මිරිස් වගා කර ඇති අඹන්පිටිය, ඇටිකීරිය ගොල්ල වත්තේ ඉඩමට අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග ඔවුන් භාරව සිටින නිලධාරියා ද ගොස් ඇති බවත් හෙළිව තිබිණි. පසුව එම භූමිය ශුද්ධ පවිත්‍ර කරමින් සිටින අවස්ථාවේ අදාළ දෙදරු පියා ඉඩම කෙළවරක පිහිටි අඩි 40ක් පමණ උස පොල් ගසක කුරුම්බා ගෙඩි කැඩීමට ගොස් ඇති බවත් පොලිසිය කියයි.

පසුව කුරුම්බා ගෙඩි කිහිපයක් කඩන අවස්ථාවේ දී බහු කාර්ය සංවර්ධන සහයකවරයා වැටී ඇති බවත් වැටී ඇත්තේ ගලක් මතට බවත් අනාවරණය වී තිබිණි. පසුව එම අවස්ථාවේ දී සේවයේ ඔවුන් භාරව සිටි නිලධාරියා හා සෙසු තරුණ පිරිස වාහනයකින් බරපතළ තුවාල ලබා සිටි සංවර්ධන සහයකවරයා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු ජීවිතයෙන් සමු ගෙන ගොස් සිටි බව පොලිසිය කියයි.