Politics

රනිල්ලාගේ ආණ්ඩුවත් කල් මරනවා විතරයි, ප්‍රශ්න එහෙමමයි – ජේ.සී. අලවතුවල

‘ජනතාව අපේක්ෂා කළ කිසිවක් ඉටුකිරීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ඔහුගේ නව කැබිනට් මණ්ඩලයට නොහැකි වී ඇතැයි’ සමගි ජන බලවේගය නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා කොළඹදී පැවසීය.

‘කල්මැරීම හැර නව රජය මේ දක්වා ජනතා ප්‍රශ්න වෙනුවෙන් කිසිදු සාධනීය පියවරක් ගෙන නැතැයි ද’ අලවතුවල මහතා සදහන් කලේය.

තව දුරටත් කල් මරමින් නොසිට ගොවියාට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දී සාගතයෙන් රට මුදා ගන්නයි නව කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීම කරන බවත් අලවතුවල මහතා පැවසීය.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අලවතුවල මහතා මෙසේද කීය.

‘ එක රැයකදී ගත්ත රසායනික පොහොර තහනම තීන්දුව නිසා අද මුළු රටම විපතට පත්ව තිබෙනවා. එය තත්ත්වය තුළ අපට අල්ලපු රටවල් වන ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, මියන්මාරය වැනි රටවලට අත පාන්න වෙලා. ගොවියෝ මේ කන්නයේ දිවත් රසායනික පොහොර ලැබෙයි කියා සිතුවා. ඒත් මේ වෙනකන් රසායනික පොහොර දෙන්න කිසිම රටක් එකඟ වෙලා නැහැ කියා කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා. මේ කන්නයේ දීවත් පොහොර ලැබෙන්නෙ නෑ කියා ඒකෙන් පැහැදිලියි.

පොහොර වගේම ගොවියන්ට ඉන්ධන අර්බුදය විශාල ලෙස බලපාලා තියෙනවා. ඔවුන්ට අද ගොවිතැන කිරීම කෙසේ වෙතත් ඩීසල් භූමිතෙල් පෝලිම් වල පැය ගණන් ඉන්න වෙලා. මේ වන විට රටේ ආහාර හිඟයක් ගැන කියනවා. ඒ තත්ත්වය දිහා බලාගෙන ඉන්නද, මේ ඇමැතිවරුන් පත් වෙලා ඉන්නේ? කෘෂිකර්ම ඇමති වරයාට දිවුරුම් දෙන්න පුදුම හදිසියක් තිබුණත් තවමත් ගොවියාට අවශ්‍ය පොහොර ටික ඉන්ධන ටික ලැබෙන්නේ නෑ.

ජනාධිපතිතුමා දැන් වැරදි නිවැරදි කරන්න හදනවා. හැබැයි මිනිස්සු තවම පෝලිම් වල මියයන තත්ත්වයට පත්වෙලා. එක පුද්ගලයෙකු හා කණ්ඩායමක් රැකගන්න ගිහින් තමයි අද සියල්ල විනාශ වෙලා තියෙන්නෙ. අද රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාව දුක් විඳිනවා. අද 74 ක ඉතිහාසයක් ගැන කතා කරනවා. ඒත් භයානකම මේ වසර දෙකයි. ජනතාව ජනාධිපතිට ගෙදර යන්න කියනවා විතරක් නොව හොරාකාපු සල්ලි දීලා දීලා යන්න කියනවා. අද රටේ තත්ත්වය බංකොලොත් තැනට ඇවිත් තියෙනවා. බෙහෙත් පවා ගෙන්වන්න බැරි තත්ත්වයට පත්වෙලා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතුයි.

මේ තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා තමයි නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් වුණේ. ඒත් ජනතාව අපේක්ෂා කළ කිසිවක් ඉටුකිරීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ඔහුගේ නව කැබිනට් මණ්ඩලයට මේ දක්වා හැකියාවක් ලැබී නැතැයි ද’ ඔහු එහිදී පැවසීය.

Leave a Comment