කිසියම් සංවිධානාත්මක පිරිසක් රන්ටැඹේ, රන්දෙණිගල ඇතුළු ජලාශ කීපයක වාන් දොරටු විවෘත කර කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර ඇති හෙයින් ඒ ජලාශ වලට වහාම ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය.
ඔහු මෙසෙර් පැවසුවේ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය දීය. මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදුවන්නේ ජලය හිඟ වී බලාගාර ඉන්ධන වලින් දුවන තත්ත්වයක් ඇතිවීම බව පැවසු අමාත්‍යවරයා රට බිත්තියට හේත්තු කිරීමට වෘත්තීය සමිති වලට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ප්‍රකාශ කළේය.
විදුලි සේවාව ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කරනු ලැබ අධිකරනයෙන් තහනමක්ද ලබාදී ඇති අවස්ථාවක පිරිසක් විදුලි බල පාලන මැදිරියට ගොස් එහි නිලධාරීන්ට බලපෑම් කර යම් විසන්ධි කිරීමක් කර ඇති බවද ඔහු පැවසීය.

තර්ජන කර බියවද්දා ආණ්ඩුව මට්ටු කිරීමට සිතනවා නම් ඒ විහිළුවක් බව පැවසූ කංචන විජේසේකර මහතා වෘතීය සමිති වලට බිය වී සියල්ල හකුළා ගැනීමට සූදානම් නැතැයි ද සඳහන් කළේය. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා වලට සම්බන්ධව සිටින්නේ සීමිත පිරිසක් බවත් සෑම හොඳ දෙයක් ම ක්‍රියාත්මක නොකිරීමට බලා සිටින නිලධාරීන් කණ්ඩායමක් ද මණ්ඩලයේ සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
රට සහ මහජනතාව වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පැවසූ විජේසේකර මහතා විදුලි මාෆියාව දිගටම ගියොත් ඊට සම්බන්ධ නිලධාරීන්ගේ ගෙවල් ගෙවල්වලටත් තමන්ගේ ගෙවල් වලට ආ ගින්න පැතිරී ගිය හැකි බවද ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසූවේ එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කර ඇත්නම් තම පක්ෂයද එය හෙළා දකින බවයි. එවැනි ක්‍රියාවක් කර ඇත්නම් ඒ කළ අයට විරුද්ධව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දෙන බවද ඔහු සදහන් කලේය.