Local News

යලට පොහොර මෝදිගෙන් කඩිනමින් – ජනපති කියයි

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඉන්දීය ණය ආධාර යටතේ සැපයෙන මෙම පොහොර තොගය මෙරටට ලැබී දින විස්සක් ඇතුළත දී රට පුරා බෙදා හැරීමට සැලසුම්කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ වාරිමාර්ග ක්ෂේත්‍රයේ මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමඟ ජනාධිපති මන්දිරයේ දී පෙරේදා (01) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී ය.

උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිමවීමට පෙර අවසන් කර මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබා දිය හැකි බව මෙහිදී තොරතුරු අනාවරණය විය. මොරාණ, මහගල්ගමුව, පෝෂිත ඇල මහා ගෝන වැව, විල කණ්ඩිය වැව සහ ගොඩිගමුව වග ව්‍යාපෘතිවල ව්‍යාපෘතිවල වැඩද මීට සමගාමීව නිමවීමට නියමිතව ඇතැයි මෙහිදී ප්‍රකාශ විය. විදේශ අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘතීන් අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට අසූවක් පසුගිය දින තුනේ දී ජල විදුලි පද්ධතියට එක් වූයේ ජල සහ සුළං ප්‍රභවයන්ගෙන් බවට ද මෙහිදී තොරතුරු අනාවරණය විය. ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘතිය හෙළ නැංවීමට හා වහලය මත සවි කෙරෙන සූර්ය පැනල සඳහා ලබාදෙන ප්‍රතිලාභ වැඩි කර පාරිභෝගිකයින් දිරිගැන්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

යල කන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් ද සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට යොමු විය. මෙහිදී අදහස් දැක්වූ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සපයන ඉඩම් වලින් 50% ක් මේ වන විටත් වපුරා ඇති බවයි. මහවැලි ගෙවතු දෙලක්ෂ දෙලක්ෂ විසිපන් දහසක බෝග වගා සඳහා සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය. මෙතෙක් වී වගා කර නොමැති ඉඩම් වල වෙනත් බෝග වගා කිරීම සඳහා අවධානය යොමු කර ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක සහ අමාත්‍ය ලේකම් යු.ඩී. ජයලාල් යන මහත්වරු ද එම අමාත්‍යංශයට අයත් රේකී ආයතන වල නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.

Leave a Comment