Local News

“එයා විනෝද චාරිකාවක් ගියේ නෑ, පෙම්වතියගේ ගෙදර ගියේ” ටික් ටොක් වලට හසු වූ බිල්ලේ අපි නොදත් කතාව

ටික් ටොක් සමාජ මාධ්‍ය යෙදවුම අද වන විට ලෝ පුරා තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක්. මෙම ටික්ටොක් යෙදවුමේ බෙදා ගත් වීඩියෝවක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් කොළඹ සේදවත්ත ප්‍රදේශයේ දාහත් හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගත් පුවතක් අද උදෑසන වාර්තා වුණා.

මොහොමඩ් අබ්දුල් ලතිප් නමැති මේ තරුණයා නොසිතූ විරූ අභාග්‍යයට මුහුණ දී ඇත්තේ ඊයේ දහවල් කාලයේ දී. අබ්දුල් ඔහුගේ සොහොයුරාට කෑම පාර්සලයක් ලබාදීම සඳහා ඔහු සේවය කරන ස්ථානයට මිතුරන් කිහිප දෙනෙක් සමග ගොස් තිබෙනවා. ඉන් අනතුරුව ඔහු සිය මිතුරු පිරිස කැටුව නැවත හේනමුල්ල ප්‍රදේශයට පැමිණෙන්නේ ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වන ටික්ටොක් වීඩියෝවක් රූගත කිරීම සඳහායි.

ඔහු සිය මිතුරු පිරිස ද සමග ටික් ටෝක් වීඩියෝව රූගත කරමින් සිටින අතරවාරයේ එතැනට පැමිණි තවත් පිරිසක් අබ්දුල් සමග ගැටුමකට මුල පුරන්නේ ඔහු විසින් පසුගියදා ටික් ටොක් යෙදවුම් ඔස්සේ සමාජයට මුදා හළ වීඩියෝවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්. එහිදී මෙම බහින් බස් වීම දුරදිග ගොස් ගැටුමට මුලපිරූ පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර එල්ල කරනවා. ඉන් අනතුරුව අදාළ පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර තුවාල ලැබූ අබ්දුල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඔහු ජීවිතයෙන් සමු ගත් බවයි වාර්තා වන්නේ. මෙම තරුණයාගේ දෙමව්පියන් පවසන්නේ,

“එයා පළවෙනිදා ට්‍රිප් එකක් යනවා කියලා අපට කිව්වේ නැහැ. අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. නමුත් අපි පලවෙනි ද අබ්දුල් කොහෙද ගියෙ කියල හොයලා බලද්දි දැනගන්න ලැබුණා එයා එයාගේ පෙම්වතිය ගේ ගෙදරට ගිහින් තියෙනවා කියලා. නමුත් මේ සිද්ධියට හේතුව මොකක්ද කියලා අපි තවම දන්නේ නැහැ.”

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ග්‍රෑන්පාස් පොලිසිය විසින් සිදු කරනු ලබන අතර අබ්දුල්ට ට තියුණු ආයුධයකින් පහර දුන් පුද්ගලයින් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

Leave a Comment