Local News

ජානාධිපති ප්‍රේමදාසව මරන්න හැදුවේ වහදීලා ජනාධිපති දේහය තිබ්බේ පොලිස් මෘත ශරීරාගාරයේ බිම හිටපු නි. පොලිස්පති නිමල් ලෙව්කේගේ අනාවරණය

රණසිංහ පේ‍්‍රමදාස මහතා උපන්නේ, 1924 ජුනි 23 දා කෙසෙල්වත්තේදීය. 1993 මැයි 01 දා ආමර්වීදියේදී ඔහු මියෑදෙන්නේ, මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ගොදුරු වීමෙනි. ඒ අතර තුර කාලයේදී ඔහු ආ ගමන, රටේ දේශපාලන සිතියමද අලූත් දිශානතියක් කරා රැගෙන ගියේය. ඔහු මරා දමා වසර 25ක් ගතවී ඇතත් ශ‍්‍රී ලාංකේය දේශපාලන ශබ්ද කෝෂයේ තවමත් සජීවී නාමයක් බවට පේ‍්‍රමදාස චරිතය පත්වී තිබේ. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ වැඩ කරන ක‍්‍රමය… පේ‍්‍රමදාසගේ මිනිස්… යනාදී හැඳින්වීම් තවමත් දේශපාලනයේදී බහුලව යෙදෙන්නේය. රටේ ජනාධිපතිවරයා මහ පාරක මරා දැමීම, ජාතියක් ලෙස අපකීර්තිමත් මතකයක් වුවත්, පේ‍්‍රමදාසවාදීන් ඒ මරණය ගැන ඇතිවූ ශෝකය හද පතුලේ රඳවාගෙන කියා සිටින්නේ සාමාන්‍ය ජනතාව සමඟ සිය ජීවිත කාලයම ගත කරනු ලැබූ රණසිංහ පේ‍්‍රමදාස, සාමාන්‍ය ජනතාව අතරම, සිය අවසන් හුස්ම හෙළීය’ යනුවෙනි. පේ‍්‍රමදාස ඝාතන මතකයට වසර විසි පහක් පිරෙන මොහොතේ, ඔහු සමඟ ළඟින් ඇසුරු කරන ලද චරිතයක් ඇසුරෙන් ඔහුගේ ගුණ, අගුණ විමසනු වෙනුවට, ප‍්‍රභූ ආරක්ෂාව සහ පේ‍්‍රමදාස ඝාතනය යන මාතෘකාව සාකච්ඡා කිරීම අපගේ අදහස විය. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස සේවය කර විශ‍්‍රාම ලද, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ති නිමල් ලෙව්කේ මහතා ඒ පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමඟ කතා බහ කළේ මෙලෙසය.
 
 ‘පාර්ලිමේන්තුවට බෝම්බ ප‍්‍රහාරය එල්ල කරපු නිසා, ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අලූත් කතිකාවක් ඒ වෙනකොට ඇතිවී තිබුණා. රටේ තිබුණු තත්ත්වය උඩ ඒ ගැන අලූතින් ඇගයීමක් පැවති රජය සිදුකළා. ඒ අනුව එස්. ටී. එෆ්. එකේ ප‍්‍රභූ ආරක්ෂක කොට්ඨාසය ඇති කිරීමට රජය තීරණය කළා. එම කොට්ඨාසය හැදුණේ, මමත් ඒකේ පළවැනි බැඡ් එක අපි තමයි… කටුකුරුන්දේදී තමයි අපිව පුහුණු කළේ… ඒ පුහුණුව ලබා දුන්නේ ඊශ‍්‍රායල් අය. පුහුණුවේදී පළවැනියා වුණේ මම. ඒ වෙනකොටත් මම ප‍්‍රභූ ආරක්ෂාව පිළිබඳව පුහුණුවක් ලබලයි හිටියේ ආනා සෙනෙවිරත්න මහතා, පොලිස්පති ලෙස සිටින කාලයේ එතුමාගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස මමයි සේවය කළේ. 1981 බි‍්‍රතාන්‍ය මහ රැජන ලංකාවට ආවා. ඒ වෙලාවේ, ඇයගේ ආරක්ෂක වළල්ල භාරව හිටියේ මම. අපි ඒකට කියන්නේ රිංග් රවුන්ඞ් එක කියලා. මහ රැජනගේ ආරක්ෂක වුණු මයිකල් ට‍්‍රසේට‍්‍රනේ සමඟ මම ඒ කටයුත්ත ඉටු කළා. එතකොට එස්. ටී. එෆ්. එක තිබුණේ නැහැ. ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් මම මැලේසියාවේ පුහුණුව ලබලා තිබුණා… අපි පොලිසියේ ඉන්න කොට හැම ඉරිදාම වෙඩි තැබීම පුහුණු කිරීම සඳහා, කටුකුරුන්දට යනවා. එතකොට අපිත් එක්ක රවී ජයවර්ධන මහත්තයාත් එහෙ යන්න එනවා. එතකොට ඔහු ජනාධිපති ආරක්ෂක උපදේශක වෙලා හිටියේ… ඒ වෙඩි තැබීම් දැකලා, රවී ජයවර්ධන මහත්තයා තමයි මට යෝජනා කළේ එස්. ටී. එෆ්. එකට බැඳෙන්න කියලා. ආරම්භක අණදෙන නිලධාරි ලෙස සර්නි විජේසූරිය මහත්මයා වැඩ භාර ගන්න කොට, මාව, ඕ. අයි. සී. විදිහට බඳවා ගත්තේ රවී ජයවර්ධන. මම මෙහෙයුම් කලාපයේ වැඩ කරනකොට තමයි, පාර්ලිමේන්තු බෝම්බ ප‍්‍රහාරය එල්ල වෙලා, රජය විසින් ප‍්‍රභූ ආරක්ෂාව පිළිබඳව නැවත සමීක්‍ෂණයක් කරන්න පටන් ගත්තේ… ඒ අනුව නැවත ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය ප‍්‍රතිසංස්කරණය කරන්න තීරණය වුණා. එහිදී ජනාධිපතිවරයා වෙත ආරක්ෂාව සැපයීම සඳහා එස්. ටී. එෆ්. එක යොදවන්න තීරණය වුණා. එය භාරව පත් වුණේ මම. ජනාධිපති ආරක්ෂක අංශය භාරව හිටියේ සුමිත් සිල්වා මහත්තයා. එතුමා දක්ෂ පොලිස් නිලධාරියෙක්… සුමිත් සිල්වා මහත්තයා, රවී ජයවර්ධන මහත්තයා සමග රාජකීය විද්‍යාලයේ සමකාලීනව ඉගෙනුම ලබපු කෙනෙක් නිසා, ඒ දෙදෙනා අතර හොඳ මිත‍්‍රත්වයක් තිබුණා.

අලූත් ප‍්‍රතිසංස්කරණ සමඟ ජනාධිපතිතුමාගේ ආරක්ෂක සැලසුම් කළේ මම… ජේ. ආර්. ජයවර්ධන මහත්තයා විශ‍්‍රාම ගියාට පසු, මම ප‍්‍රභූ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් වෙලා, යළිත් මෙහෙයුම් කලාපයට ගියා.

නිමල් ලෙව්කේ මහතා සිය කතාව ආරම්භ කරන්නේ, ඔහු වෘත්තීය ලෙස ප‍්‍රභූ ආරක්ෂාව සඳහා සම්බන්ධ වීමේ අතීතයද සමඟය. මේ මැයි පළමු වැනිදාට වසර විසිපහක් පිරෙන ජනාධිපති පේ‍්‍රමදාස ඝාතනය පිළිබඳව තිරය පිටුපස කතාවට අප පැමිණෙන්නේ දැන්ය.
 
 මම මඩකලපුවේ රාජකාරි කරමින් සිටින කාලයේ, ජනාධිපති පේ‍්‍රමදාස මහතාගේ ආරක්ෂාව සිදු කෙරුණේ පෙර වගේමයි. ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙනම තිබෙන අතරේ, එස්. ටී. එෆ්. එකෙන් වෙනම යුනිට් එකක් ජනාධිපතිතුමාට ආරක්ෂාව සැලසුවා. රොහාන් අබේවර්ධන, සරත් මහින්ද වගේ ඒ. එස්. පී. ලා තමයි එස්. ටී. එෆ්. එකේ කටයුතු භාරව සිටියේ. මම ඒ කටයුතුවලට සම්බන්ධව සිටියේ නැහැ. මේ කාලයේ ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධව මට තිබුණු දැනුම සම්බන්ධව සියලූදෙනා පැහැදීමෙන් හිටියා. ඒ නිසා මාත් සමඟ බොහෝ වෙලාවට ඒ ගැන කතා කරනවා. මම මඩකලපුවේ ඉඳලා, මාසයකට සැරයක් කොළඹ එනවා. ඒ එන හැම වතාවේම, එස්. ටී. එෆ්. එකේ අණදෙන නිලධාරිව අපි හමුවෙන්න ඕනේ. මම එදා, මඩකළපුවේ කාර්තිව්වල ඉඳලා කොළඹ ආවා. ඒ වෙලාවේ අපේ ප‍්‍රධානියා ලයනල් කරුණාසේන මහත්තයා. මේ කාලය වෙනකොට ජනාධිපතිතුමාට තර්ජනයක් තියෙනවා, කියලා තොරතුරු ලැබිලා තිබුණා. එතැනදී හෙළිවුණු එක දෙයක් තමයි, ජනාධිපතිතුමාගේ ආහාර සඳහා වස දාන්න සැලසුමක් තිබුණු බව… මේ ගැන එස්. ටී. එෆ්. එක දැඩි අවධානයක් යොමු කරලා තිබ්බේ. ජනාධිපතිතුමාගේ ආහාර පිළියෙල කිරීමේ වගකීම තිබුණේ විශේෂ කාර්ය බළකායට නෙමෙයි. ඒ කටයුතු සිද්ධ වුණේ සුචරිතයට සම්බන්ධව හිටපු ජනාධිපතිතුමාගේ පුද්ගලික හිතවත් පිරිසක් අතින්. නිහාල් කියලා කෙනෙක් තමයි කෑම පිළියෙල කළේ.
 
විශේෂ කාර්ය බළකාය කළේ, කෑමට අවශ්‍ය ද්‍රව්‍ය, එළවළු ආදිය මිලදී ගන්න යන කොට ඒ ගැන විශේෂ පරීක්ෂා කරන්න, වෙනම කණ්ඩායමක් හැදුවා. ඒ අයගේ අධීක්ෂණය යටතේ තමයි, ආහාර සහ එළවළු මිලදී ගත්තේ. ඊළඟ තර්ජනය තමයි මැයි දින පෙළපාලිය. ජනාධිපතිතුමා මේකේ පයින් යන එක තමයි අපේ අයට තිබ්බ ලොකුම හිසරදය. පයින් යන්න එපා කියලා කිව්වත්, ජනාධිපතිතුමා ඒක අහන්නේ නැහැ.
 
 මට අද වගේ මතකයි, එදා 1993 අපේ‍්‍රල් 29 වැනිදා. කරුණාසේන මහත්තයා මට මුණගැසුණා. මං කිව්වා මේ තියෙන තත්ත්වයත් එක්ක ජනාධිපතිතුමාට ආරක්ෂා වෙන්න සිද්ධ වෙනවා කියලා. මම කරුණු රැසක් ලැයිස්තුගත කරලා කරුණාසේන මහත්මයාට ඉදිරිපත් කළා. සියල්ල අහගෙන ඉඳලා කොමඩාන් මට කිව්වා.
 
 ජනාධිපතිතුමා ගාව අපේ ටීම් එකේ, ඒ. එස්. පී. සරත් මහින්ද වැඩ කරනවා. ඒ මුළු ටීම් එකම ගෙනැල්ලා ඔයා මට කියපු ඔක්කොම විස්තර ඒ ගොල්ලන්ට කියන්න’ කියලා.
 
 අපේ‍්‍රල් 30 දා මම ක්ලාස් එකක් දාලා, මේ විස්තර ටික කියන්න මේ කට්ටියට එන්න කිව්වා. එදා එස්. ටී. එෆ්. එකේ අයට එන්න විදිහක් තිබුණේ නැහැ. ‘29 වැනිදා රාත‍්‍රි දෙක වනතුරු ජනාධිපතිතුමා එක්ක ඉඳලා, අපට මහන්සියි… එන්න විදියක් නෑ කියලා.’ සරත් මහින්ද මට කතා කරලා කිව්වා.
 
 මට 30 වැනිදා කාර්තිව් යන්නම ඕනෑ. මම කොමඩාන් මුණගැහිලා කිව්වා ‘කට්ටිය මෙහෙම කිව්වා… ඔය තැන තැන ඇවිදින්න යන්න එපා කියලා, සර් ජනාධිපතිතුමා මුණගැහිලා කියන්න. යන්නම ඕනෑ නම්, විවෘත රථයක යන්න කියන්න.‘ කියලා මං කිව්වා
 
 ‘අපේ බොඩිගාඞ්ලාගේ ඩියුටි ෂිෆ්ට් එක පැය හයෙන් හයට කඩන්න. ඊට වැඩිය තිබ්බොත් මහන්සි එනවා.‘ කියලා අලූත් සැලසුමකුත් මම යෝජනා කරලා තිබුණේ… ඒ වෙනකොට ඒක ක‍්‍රියාත්මක වුණා.
 
 මැයි පළමුවැනිදා මම එස්. ටී. එෆ්. මූලස්ථානයට ආවා. මම සිවිල් ඇඳුමෙන් හිටියේ. වෙලාව දවල් එකොළහමාරට විතර ඇති… කරුණාසේන මහත්තයාගේ වාහනය ඉදිරිපසට ගෙනාවා. එතුමා පිටත් වෙන්න හදනවා.
 
 ‘කොහෙද යන්නේ…?‘
 
 ‘යනවා නිමල් ස්ටේඩියම් එක ගාවට. ජනාධිපතිතුමා එතැනට එනවා.’ කියලා කරුණාසේන මහත්තයා මට කිව්වා.
 
 සර්ට මම මෙච්චර දවසක් කිව්ව දේවල් මතකයිනේ පොඞ්ඩක් පරෙස්සම් වෙන්න. අද හොඳ දවසක් නෙමෙයි’ කියලා
 
 මට කියැවුණා. මං එහෙම කිව්වේ ඇයි කියලා අදටත් මට හිතාගන්න බෑ. ‘ඔව්… ඔව්.. නිමල්… ඔයා කියපු දේවල් ගැන මම ප‍්‍රසිඩන්ට් එක්ක කතා කළා’ කියලා කරුණාසේන මහත්තයා කිව්වා. කරුණාසේන මහත්තයා ගියාට පස්සෙ මම ගෙදර ගියා.
 
 රටේ ඉරණම්කාරී මොහොත උදාවන්නේ මේ අතරේය. මැයි පළමුවැනිදා ධනපති පක්ෂ ලෙස හඳුන්වන එජාපයට ඒතරම් අගයක් නැතත්, ජනාධිපති පේ‍්‍රමදාසට අන් එජාප නායකයන් මෙන් එය බැහැර කළ නොහැකි විය. ඔහු මතු වූයේ පීඩිතයන් අතරින්ය. ඔහුගේ දේශපාලන ගුරුවරයා වන ඒ. ඊ. ගුණසිංහ කම්කරු නායකයෙකි. ඔහු ජනාධිපති වූ පසුවද ඇසුරු කරන ලද්දේ, හාම්පුතුන්ගේ පරපුර නොව කම්කරු පරපුරය. මේ නිසා කම්කරු දිනය පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ, ඇෙඟ් තිබූ දෙයක් විය.
 
 ‘මම ගෙදර ඉන්නකොට තමයි සිද්ධිය වුණේ. මට එස්. ටී. එෆ්. හෙඞ්ක්වාටස්වලින් කෝල් එකක් ආවා. ංං ‘ග‍්‍රෑන්ඞ්පාස්වල බ්ලාස්ට් එකක් වෙලා තියෙනවා ‘එතැන ඉඳලා තියෙනවා’ කියලා, ඒ අය මට කිව්වා. අපේ කෝඞ් ක‍්‍රමයට අපි ජනාධිපතිතුමාව හැඳින්වූයේ ංං නමින්… මගේ රියැදුරු මාව බස්සලා ගිහිල්ලයි හිටියේ. මගේ අල්ලපු නිවැසියා මිස්ටර් හෙට්ටිආරච්චි.
 
 ‘‘ඔයාගේ ඩ‍්‍රැයිවර් එක්ක මට පොඞ්ඩක් කාර් එක දෙන්න’’ කියලා. මම එයාගෙන් කාර් එක ඉල්ලගෙන කෙළින්ම ආවා හදිසි අනතුරු අංශයට…
 
ඔන්න තුවාල වෙච්ච අය පෝලිමේ ගේනවා. එක දිගට ඇම්බියුලන්ස්, වාහන එනවා. මැරිච්ච අය, තුවාල වෙච්ච් අය පිරිලා. නියෝජ්‍ය පොලිස්ති රොනී ගුණසිංහගේ බොඩි එක ගෙනාවා, සිරිමල් පෙරේරා ගෙනාවා, ඔහොම කට්ටිය ගෙනැල්ලා දානවා. හිටියයි කිව්වට එහෙම ආවේ නෑ.
 
 එතුමාගේ ළඟින්ම බොඩිගාඞ් ඉන්නේ, අපේ එස්. ටී. එෆ්. එකේ, සරත් මහින්ද. එයත් නෑ. සරත් මහින්ද… කොළඹ හිටපු නියෝජ්‍ය පොලිස්ති ජෙරාඞ් ඉග්නේෂස්, එයාගේ සහෝදරයා… ජෙරාඞ් මහත්තයාත් හදිසි අනතුරු අංශයට ඇවිල්ලයි හිටියේ… ‘නිමල් මල්ලි, අපේ සරත් ගැන ආරංචියක් නැහැනේ…’ කියලා එයා මට කිව්වා. අපට දැන් වුවමනායි අපේ සරත් මහින්දව හොයාගන්න. අපි ආවා පොලිස් මෘත ශරීරාගාරයට. එතැන ගිහින් බලපුවාම මෘත ශරීර දෙකක් දාලා තියෙනවා. එකක් සරත් මහින්දගේ. අනෙක් කෙනා ගැන සොයා බලන කොට එයා පී. එස්. ඞී. එකේ සාජන් කෙනෙක්. අපි යන්න හදනකොට එවකට වෝඞ් ප්ලේස් ඕ. අයි. සී. හිටිය මහනායක කතා කරලා තව මිනියක් පෙන්නුවා. අර දෙන්නගේ බොඞීස්වලට එහා පැත්තේ තව ස්‍්‍රචෙර් එකක් යට මෘත ශරීරයක් තියෙනවා. ඒක පොළොවේ තියලා තිබ්බේ… කාගෙද කියලා බැලින්නම්, පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ. මට හොඳට මතකයි, බොඩි එක තිබ්බ විදිහ… එතුමා අත් කොට කමිසයක් ඇඳලා, සරමක් ඇඳලා හිටියේ… ඇඳුම්වලට ටිකක් හානි වෙලා තිබ්බා. මුහුණ එහෙම පිටින්ම විනාශ වෙලා… අතේ ඔරලෝසුව තිබ්බා. අත පය කැඩිලා වගෙයි තිබ්බේ…
 
 අපි මිනිය ඇදලා, උඩට ගත්තා. මම එළියට ඇවිල්ලා රුක්මන් සිල්වා පොලිස් අධිකාරිතුමාට කිව්වා. චීෆ් කිව්වානේ පේ‍්‍රමදාස මහත්තයා ගෙදර ගියා කියලා. අන්න බොඩි එක අතන’ කියලා.
 
 ඒ පාර තමයි ඔක්කොම කට්ටිය ඇවිල්ලා බලලා පේ‍්‍රමදාස ජනාධිපතිතුමාව අඳුන ගත්තේ… මම එස්. ටී. එෆ්. හෙඞ්ක්වාටස්වලට ආවා. අපේ කොමඩාන් ලයනල් කරුණාසේන මහත්තයා පුටුවකට බර වෙලා, කල්පනාවට වැටිලා ඉන්නවා.
 
 ‘‘… මොකද වුණේ… ‘එතුමා මං දිහා හොඳ බැල්මක් දැම්මා.
 
 ‘කිව්ව දේ හරිනේ…‘
 
 ‘කොහෙද හිටියේ…‘
 
 ‘ජනාධිපතිතුමාට ටිකක් පිටිපස්සට වෙන්න හිටියේ…‘
 
 එතුමා විතරයි දැනගෙන හිටියේ ජනාධිපති පේ‍්‍රමදාස එතැන මැරුණයි කියලා. ඒත් ඒක කාටවත් කිව්වේ නෑ.
 
 ‘ප‍්‍රසිඩන්’ගේ බොඩි එක පොලිස්මෝග් එකේ. අපි අයිඩෙන්ටිෆයි කළා…‘
 
 ‘මම දන්නවා‘ කරුණාසේන මහත්තයා කිව්වේ එච්චරයි…!
 
 රටේ නායකයා මහපාරෙදි බෝම්බයකට ගොදුරුවීම, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්විට ඇසිය හැකි දුර්වලම කතාවකින් එකකි. විශේෂ කාර්ය බළකාය වැනි අති දක්ෂ ඒකකයක් ජාතිය සතුව තිබියදී, එසේ වූයේ ඇයි…? නැවත නිවැරදි කළ නොහැකි ඒ වැරැද්දේ සුලමුල කොතැනද…? අපි ඒ ගැන නිමල් ලෙව්කේ මහතාගෙන් විමසුවෙමු.
 
 ප‍්‍රභූ ආරක්ෂාව කියන්නේ ආරක්ෂකගේ දක්ෂතාව සහ ප‍්‍රභූවරයා ආරක්ෂාවට ඇහුන්කන් දීම කියන කාරණා දෙක මත රඳා පවතින දෙයක්…. පැහැදිලිවම, ප‍්‍රභූන් ආරක්ෂකට ඇහුම්කන් දෙන්න ඕනෑ. නැතිනම් කිසිම කෙනකුව ආරක්ෂා කරන්න බෑ. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා බොහොම නිහතමානීව අපට ඇහුම්කන් දුන්න කෙනෙක්. රනිල් වික‍්‍රමසිංහ මැතිතුමත් එහෙමයි. ඔහු වෘත්තීයමය දේශපාලනඥයෙක්. මම වෘත්තීයමය ප‍්‍රභූ ආරක්ෂකයෙක්. අපි කියන දේ එයාල පිළිගන්න ඕනෑ. මම අනන්තවත් රනිල් මහත්තයාව එයාගෙ කාර් එකෙන් බස්සලා අපි යන වෑන් එකේ අරන් ගිහින් තියෙනවා. ‘අපේ වෑන් එකට නඟින්න.’ කිව්වහම කිසි කතාවක් නැතිව නගිනවා. එහෙම නැතිව කරන්න අමාරුයි.
 
ප‍්‍රභූ ආරක්ෂක කණ්ඩාම්වල අයට තිතට වෙඩි තියන්න පුළුවන්. මට ඒ කාලේ තත්පරයක් ඇතුළත පිස්තෝලය අරගෙන ඉලක්කයට වදින්න වෙඩි තියන්න පුළුවන්. ඒ වගේ අය එස්. ටී. එෆ්. එකේ හිටියා විස්සකට වඩා. පුරුදු වෙනවා… පුරුදු කරනවා… පුරුදු කරනවා… ඉවරයක් නෑ. රවි ජයවර්ධන මහත්තයා අපිට ආදරේ ඒ නිසයි. උපාලි කියලා හිටියා නිලධාරියෙක්. එයා පේ‍්‍රමදාස මැතිතුමාගේ ඝාතනයේදී මැරුණා. එයාගේ මැගසින් චේන්ඡ් එක කොයිතරම් වේගවත්ද කිව්වොත් ඇහැට පේන්නේ නැහැ. ඒ තරම්ම ෆාස්ට්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා මිය යන මොහොතේ උපාලි ළඟින්ම හිටියා… එයාගේ බොඩි එක අපි නිරීක්ෂණය කළා. එයාගේ එක අතක් කැඩිලා තිබ්බා… අනෙක් අතෙන් ඔහු පිස්තෝලය එළියට අරගෙනයි හිටියේ… මරාගෙන මැරෙන කෙනෙක් වළක්වන එක අසීරු කාර්යයක්… කිසිම බාධාවක්, එවැනි චරිතයකට බාධා නෙමෙයි… අපේ උපාලි එහෙම පුද්ගලයෙක් එනවා දකින්න ඇති. ඔහු එක අතකින් එයාව වළක්වන්න හෝ ජනාධිපතිතුමා කවර් කරන්න යන ගමන්, අනිත් අතින් පිස්තෝලය ගත්තා…. ඒත් ඒ එක්කම බ්ලාස්ට්එක වුණා… විශේෂ කාර්ය බළකාය හැටියට අපේ වගකීමක් මේ සම්බන්ධව තිබුණා. ඒ වගේම රටේ නායකයා… විශේෂයෙන්ම පේ‍්‍රමදාස ජනාධිපතිතුමා වගේ කෙනෙක් මේ රටට හුඟාක් වටිනවා. ජනාධිපතිතුමාගේ කෑම සඳහා වස දාන්න හදන බව ආරංචි වුණු මොහොතේ අපි ඒක ආහාර මිලදී ගන්නා තැනින් නැවැත්තුවා… ඊට එහාට ගිහිල්ලා, කවුද ජනාධිපතිතුමාට කෑම දෙන්නේ…? ඒ වෙලාවට ළඟින් ඉන්නේ කවුද…? ඒ අය කාවද ආශ‍්‍රය කරන්නේ..? ආදී ලෙස නිරන්තරයෙන් සෙවිල්ලෙන් හිටියා නම් මොහිදීන් ගැනත්, එතැනින් බාබු ගැනත් හෙළිවෙන්න තිබ්බා. ජනාධිපතිතුමා හෝටලයකට ගියත් කෑම කන්නේ නැහැ. එතුමාගේ සියලූ ආහාර ගේන්නේ ගෙදරින්… මේ නිසා ඒ සම්බන්ධව හිටපු පිරිස් නිරීක්ෂණය කළ යුතුව තිබුණා.
 
 ප‍්‍රභූ ආරක්ෂාව කියන දේ, ප‍්‍රභූවරයා ගෙදර ගිහිල්ලා, ඇරලූවහම ඉවර වෙන දෙයක් නෙමෙයි… ප‍්‍රභූවරයා ආශ‍්‍රය කරන්නේ කවුද…? ඒ අයගේ පසුබිම, ඒ අය ආශ‍්‍රය කරන්නේ කවුද..? යනාදී ලෙස නිරීක්ෂණය කළ යුතුයි. මේ සියල්ල සඳහා ප‍්‍රභූවරයා සහයෝගය දිය යුතුයි. එහෙම නැති කොට, ආරක්ෂාවේ හිදැස් ඇතිවෙනවා.’
 
 ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස අභාවප‍්‍රාප්ත වන්නේ, රටට පාඩම් රාශියක් කියා දෙමින්ය. නායකයකු ලෙස ඔහු රටට කියාදුන් පාඩම් සේම ඔහුගේ මරණයෙන් ඔහු අපට අධ්‍යයනය සඳහා ඉතිරි කළ දේද විශාලය. පේ‍්‍රමදාස ගුණ පමණක් ගායනා සමරුවක් පමණක් නොව ඔහුගේ මරණයෙන් ජාතිය ඉගෙන ගත යුතු එක් පාඩමක්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා අපට කියා දුන්නේ එසේය.

1 Comment

Leave a Comment