Local News

තැපැල් සේවකයෝ සිකුරාදාට වැඩ ඉල්ලති

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදුන්නත් තැපැල් සේවකයන්ට සිකුරාදා හා සෙනසුරාදා යන දින දෙක ම සේවයේ යෙදීමට අවස්ථාව ලබා දී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. තැපැල් සේවකයන්ට ද සිකුරාදා දිනය නිවාඩු ලබා දීමට කටයුතු කර තිබුණ ද තමන්ට සිකුරාදා දිනය සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තැපැල් වෘත්තීය සමිති ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව, ඊයේ (ජූනි 20) පැවති සාකච්ඡාවකින් පසු තැපැල් සේවකයන්ට සිකුරාදා දිනය සේවයේ යෙදීමට අවස්ථාව ලබා දීමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට එකඟ වී ඇත.

තැපැල් සේවකයන් සෙනසුරාදා දිනයේ ද සේවයේ යෙදෙන අතර එසේ සෙනසුරාදා සේවය කිරීම වෙනුවෙන් විශේෂ දීමනාවකට ද හිමිකම් කියයි.

මෙම දීමනාව ලැබීමට නම් සෙනසුරාදා සේවයේ යෙදිය යුතු බව ත් රාජ්‍ය සේවයේදී කලින් දිනය නිවාඩු නම් පසු දා අතිකාල සේවය කළ නොහැකි බවට නීතියක් පවතින බැවින් සිකුරාදා සේවය කිරීමට අවස්ථාව ලබාගත් බව ත් තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ වෙතත්, සිකුරාදා දිනය රාජ්‍ය ආයතන වසා ඇති බැවින් තැපෑලට එන ලියුම් ප්‍රමාණය අඩු වනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.

මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්නගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුවට බ්‍රහස්පතින්දා දිනය වනතුරු ගලා එන ලිපි ප්‍රමාණය අවසන් කර ගැනීමට නම් අනිවාර්යයෙන් සිකුරාදා සහ සෙනසුරාදා දෙදින සේවය කළ යුතු බව ය.

ඒ අනුව, තැපෑල අයත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ එකඟතාව මත සිකුරාදා හා සෙනසුරාදා දෙදින සේවය කිරීමට එකඟ වූ බව ඔහු කියා සිටියේ ය.

Leave a Comment