Local News

දෙහිවල මුහුදේ කිඹුලාට බිළි වූ කිමිදුම්කරුගේ බිරිද කියන කතාව

මාතර ගඟේ ඉන්නා කිඹුල්ලු ගැන අපේ පැරණි කවිවලින් අසන්නට ලැබුණත් මුහුදේ ජීවත්වන කිඹුල්ලු ගැන අසන්නට ලැබෙන තොරතුරු ඉතාමත් අල්පය. නමුත් මේ වසර ආරම්භයේදීම දෙහිවල මුහුදු කලාපයෙන් අසන්නට ලැබෙන්නේ කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව දිවි අහිමි වූ කිමිදුම්කරුවකු පිළිබඳවය.

දෙහිවල මුහුදු කලාපයේ නිරතුරු කිමිදුම් කටයුතුවල නිරතවන කිමිදුම්කරුවකු මෙලෙස කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඇත. ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඊයේ (03 වැනිදා) පෙරවරුවේදී ඇතුළත් කිරීමෙන් පසු දිවි අහිමි වී ගියා. රත්මලාන, කල්දේමුල්ල සුනාමි ධීවර ගම්මානයේ පදිංචි 50 හැවිරිදි අයකු මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ.

මෙම සිද්ධිය වී ඇත්තේ දෙහිවල දුම්රියපොළෙ පිටුපසින් වූ ගොඩගල අසල මුහුදු තීරයේදීය. ගැඹුරු මුහුදු කලාපයේ කිමිදීමට ගිය අවස්ථාවේදී මෙම පුද්ගලයා මෙලෙස කිඹුලාගේ ග්‍රහණයට ලක්ව තිබේ.

ගැඹුරු මුහුදේදී මෙවැනි කිඹුල් ප්‍රහාරයක් පිළිබඳව වාර්තාවීම ඉතා විරල සිද්ධියක් බව වනජීවි නිලධාරිහු පවසති. කිමිදුම්කරුට ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගැට කිඹුලෙකි. මෙම කිඹුල් විශේෂය ඉංග්‍රීසියෙන් හදුන්වනු ලබන්නේ salt water crocodile යන නමිනි.මෙම කිඹුලා ඇල්ලීමට දෙහිවල මුහුදු තීරයේ මෙහෙයුමක්ද ඊයේ අරඹා තිබුණි.

කිඹුල් ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අයගේ බිරිඳ කියා සිටියේ දිනපතාම පෙරවරු 6ට පමණ සැමියා මුහුදේ පිහිනුම් සඳහා යන බවය. එලෙස ගොස් මාළු අල්ලාගෙන නිවසට පැමිණෙන බව ඇය පවසන්නීය. කිඹුලන් දෙදෙනෙකු මෙම මුහුදු ප්‍රදේශයේ සැරිසරන බව මෙම පුද්ගලයාගේ ඥාතීහු පවසති. මෙම කිඹුලන් ඇල්ලීමට වහාම වනජීවි නිලධාරීන් කටයුතු කලයුතු බවත් නැතහොත් විසිතුරු මසුන් ඇල්ලීමට දියඹට යන කිමිඳුම්කරුවන්ගේ ජීවිත අනතුරට ලක්වන බවත් විසිතුරු මසුන් අල්ලන්ගේ සමූපකාර සමිතියේ සභාපතිවරයා කියයි.

දිවි අහිමි වූ පුද්ගලයාගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කෙරෙන බවතය. සිදුවී ඇත්තේ පොරබැදීම නිසා ජලයේ ගිලීයාම නිසාදැයි සැකයක් පවතින බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේය. එම සිරුර සම්බන්ධව පී. සී. ආර්. පරීක්ෂණයක්ද පැවැත්වීමට ඊයේ කටයුතු යොදා තිබුණි. දකුණු ආසියානු කලාපය භාර කිඹුල් විශේෂඥ කමිටුවේ සභාපති ආචාර්ය ඇනස්ලම්ද සිල්වා කියා සිටියේ වැල්ලවත්ත ඇළ ආශ්‍රිතව ගැට කිඹුලන් සිටින බවත් මෙම කිඹුල්ලු පානදුර ඇළට සංක්‍රමණය වන්නේ මුහුද හරහා බවය. කිඹුලාගේ ගමන් මාර්ගයේ කිසිවෙකු සිටි,යහොත් උගේ ග්‍රහණයට හසුවන බවද ඔහු කියන්නේය. මෙවැනි සිද්ධියක් වාර්තා වූයේ පළමුවරට යැයිද ඔහු කීවේය.

Leave a Comment