Breaking News Local News

ගෙළ සිරකර ට්‍රැවලින් බෑගයේ දැමූ කත ඝාතනය කළ මල්ලි හැංගිලා රොසෑනා හා සැමියා අත්අඩංගුවට

කොළඹ වේල්ල වීදියෙන් හමුවූ ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර පිළිබඳ උණුසුම මැකී යෑමට ඔන්න, මෙන්න කියා තිබියදී තවත් එවැනිම පුවතක් අසන්නට ලැබෙන්නේ සපුගස්කන්ද මාබිමෙනි. ඉකුත්දා එම ප්‍රදේශයේ තිබී හමුවූ කාන්තා මළ සිරුරක් සහිත ගමන් බෑගය පිළිබඳ පොලීසිය සිදුකළ පුළුල් විමර්ශනයේදී කරුණු රැසක් අනාවරණය විය. ඒ අනුව මේ ලිපිය සැකසේ.

ඒ ඉකුත් බ්‍රහස්පතින්දා ය. ස්ථානය බ්ලූමැන්ඩල් පොලිස් වැයික්කියේ ’ඕර්ස් ලේන්’ එකට ආසන්න පෙදෙසකි. එවිට වේලාව සවස 3ට කිට්ටු ය. අවට ජනාකීර්ණ ය. ඒ මේ අත ගමන් ගන්නා රථ පෙළ නිසා මාර්ග තදබදය දැඩි ය.

ඒ මඟෙහි ගමන් ගන්නා කන, කර රනින් බර වූ කාන්තාවකි. ඇයත් සමඟ තවත් කතක් හා තරුණයෙකි. මඟ තොට යනෙන දෙනෝදාහක් දෙනාට එවේලේ මේ තිදෙනාගේ අමුත්තක් පෙනුණේ නැත. සතුටු සාමීචි කතාබහක් හැරෙන්නට ආරවුලක වගක් පිටතට නොපෙනුණි.

අනෙක, මේ තිදෙනාම ඒ ප්‍රදේශයට ආගන්තුක නොවීය. අත, කන, කර රනින් සරසා ගෙන නිතර මහ මඟ ගමන් ගැනීම එතැන වූ ‘මූම්ටාස්ට’ හුරු පුරුදු දෙයකි. මහ දහවලේ පමණක් නොව. රෑ දෙගොඩ හරිය යාමයේ දී ද එය එසේම වූ දසුනකි. ඇයගේ සැමියා ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහු සහල් වෙළෙඳාම පිළිබඳ ගෙන්දගම් පොළොවේ නම ගිය අයෙකි.

ඇය ඔහු උපයන මුදල පොලී කිරීමෙන් හා සූදු කෙළීමෙන් දෙගුණ, තෙගුණ කිරීමට වෑයම් කළාය.

එහෙත් එක් කැපී පෙනෙන වෙනසක් ද විය. ඒ මුම්ටාස්ට තරම් නිශාචර ජීවිතයක් ඇයගේ සැමියාට නොවීම ය. එය එක් අතකින් විශේෂත්වයකි. එනම් බොහෝ නිවෙස්වල පිරිමි රාත්‍රී කාලයේ තැන තැන සැරිසැරුව ද ඒ පුරුද්ද ඇති ගැහැනු මෙරට ඉතා අඩු ය. ඒ කෙසේ වෙතත් මේ කතාව එවැනි වෙනස් ම ගැහැනියක පිළිබඳව ය.

අප මේ එබිකම් කරන්නේ ඇයට සිදු වූ විපත පිළිබඳව ය. එහෙත්, ඇය දැන් අප අතර නැත. මොහොමඩ් සාෆි ෆාතිමා මුම්ටාස් ඒ ඇය යි. මේ කතාව ගෙතෙන්නේ ඇය වටා ය. ඒ හරහා අපි නැවත බ්ලූමැන්ඩල් දෙසට හැරෙමු. ඒ අපේ කතානායිකාව හා ඇයත් සමඟ එකට සිටි මිතුරිය ද අනෙක් පිරිමි තැනැත්තා ද වෙතට ය. මුම්ටාස් හා මේ දෙදෙනාගේ ඇසුර පරණ එකකි. කොහොමටත් මුදල් අතමාරුවක දී එම ප්‍රදේශයේ හුඟ දෙනෙක් මුම්ටාස් සොයා එති. එවිට පෙර වැරැදි නැතිනම් ‘නෑ’, ‘බෑ’ නොකියා දවස් පොලියට මුදල් හදල් දීමටත් මුම්ටාස් ඒ කාටත් මැළි නොවේ.

ඉඳ හිට කෙනෙක් පොලී ගෙවීම මඟ හැරිය විට මුම්ටාස් ඔහු හෝ ඇය ලුහුබඳියි. කෙසේ හෝ කාරිය ඉටුකර ගනී. ඒ වග කවුරුත් දනිති. ඒ නිසා පොලී නොගෙවා කරහරින්නටත් කාටවත්ම පහසු නැත. ඒ දහවලේ දී ඇයගේ විදියයි.

රාත්‍රියේ දී ඇය ඊට වඩා වෙනස් ය. ඒ කතුන් හොයන පිරිමි පොදිකන තැන්වල දී මුම්ටාස්ව කොතෙකුත් දක්නට පුළුවන. කොළඹ සූදු පොළවල් හා රාත්‍රී සමාජ ශාලා බොහොමයක් ඇයට අලුත් තැන් නොවේ. ඒ කොතැනදීත් මුම්ටාස් අතේ මුදල් බෑගය ද වරදින්නේ නැත. නිතර රුපියල් ලක්ෂ ගණනක නෝට්ටු මිටි ඒ තුළ ඇත.

සූදු පොළේ දී විටෙක ඔට්ටුවක් දෙකක් අල්ලන්නටත් පෙලඹෙන ඇය දිගින් දිගටම සූදුවේ ඇලී ගැලී සිටින්නියක නොවේ. අනෙක් සූදු කෙළින්නන් මෙන් පරදින්නටත් ඇය සූදානම් නැත. ඒ සූදුවෙන් සේසතම පැරදී පසුබසින කවුරු කවුරුත් පාහේ අන්තිමේ දී ඇය සොයා එන වග මුම්ටාස් හොඳින් ම දන්නා නිසා ය.

සූදුවට නැඹුරු කතක්

මුම්ටාස් වැඩේට ‘එන්ටර්’ වෙන්නේ එතැනිනි. ඒ තව තවත් සූදු කෙළින්නට සූදු අන්තුවන්ට පොලියට මුදල් දෙමිනි. ඒ ඒ තැන්වල දී ඊට ඇප වශයෙන් රන් ආභරණ ආදී වටිනා සම්පත් ඇය ලබා ගනී. බජාර් එකේ කාටත් එසේ උදවු පදවු ඇති 42 හැවිරිදි මුම්ටාස්ට කළුවරට බය වන්නට හේතුවක් නොතිබිණි. ඒ ඇය දන්නා කියන මිනිසුන් නිතර ඈ වටා සිටි බැවිනි. ඉකුත් දා (28) මෙන් බිහිසුණු සිද්ධියකට මුහුණ දීමට සිදු වෙතැයි ඇය සිහිනෙකින්වත් සිතන්නට නැත. අප තවම නැවතී සිටින්නේ මුම්ටාස් ඇයගේ මිතුරිය රොෂානා සහ ඇයගේ සැමියා බව කියන බාබු ළඟ ය.

ඒ ඉකුත් 28 වැනි දා සවස අවසන් වරට මේ තිදෙනා එකට සිටි බව කියන මතකය යි. ඉනික්බිති ව එදින රෑ මැදියම වන තුරුත් මුම්ටාස් ඇය විසූ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවෙසට නොපැමිණියා ය. ඒ පිළිබඳ ව විමසීමට මුම්ටාස්ගේ දරු දෙදෙනා සහ මව දුරකතනය ඔස්සේ ඇය සම්බන්ධ කර ගැනීමට වෙහෙසුණහ. එහෙත් ඉන් පලක් නොවීය.

අතුරුදන්වීම

කෙමෙන් පසුදිනටත් (29) එළිය වැටිණ. ඒ වන විටත් මුම්ටාස් ආපසු නිවෙසට පැමිණියේ නැත. මුම්ටාස්ගේ සැමියා එවිට රොෂානා ඇමතී ය. ඒ අවසන් වරට මුම්ටාස් සමඟ සිටි බව කියන කාන්තාවයි.

‘කෝ මුම්ටාස්, උකස් කඩෙන් රත්තරන් බඩු බේරාගෙන එන්න යනවා කියලා ඔයාලා එක්ක නේ ගිහින් තියෙන්නේ..’‍

ඒ මොහොතේ රොෂානා ද ඇඟට පතට නොදැනීම, ‘එයා ඕර්ස් ලේන් එකෙන් වාහනෙන් බැස්ස නේ, ඊට පස්සේ ලෙල්ලම දිහෑට ගියා. ඇයි මොකට ද?..” එවිට, පෙරටත් වඩා සැමියා මුම්ටාස් පිළිබඳ ව සිතන්නට වූයේ ඇයට අනතුරක් හෝ කිසිවකුගෙන් කරදරයක් දැයි සැක මතුවීමෙනි. රොෂානා ද කැඳවාගෙන ම ඔහු බ්ලූමැන්ඩල් පොලිසිය පිහිටි කඳු ගැටය තරණය කළේ බර කල්පනාවකිනි.

ඔහු රොෂානා ඉදිරිපිට දී ම අතුරුදන් මුම්ටාස් පිළිබඳ පැමිණිල්ල දැමීය. ඒ අනුව රටේම පොලිස් ස්ථානවලට අතුරුදන් තැනැත්තියක වශයෙන් සාෆි ෆාතිමා මුට්ටාස් හඳුන්වා දෙනු ලැබිණි.

ඉනික්බිති ව තවත් දින ගණනාවක් ගත වන තුරුම මේ කතාවට අලුතින් විශේෂ යමක් එක් නොවුණි. එහෙත් ඉකුත් දීපවාලි දිනයේ දී සපුගස්කන්ද පොලිස් වැයික්කියේ මාබිම වීමෝල පාරෙන් නාඳුනන කාන්තා මළ සිරුරක් හඳුනා ගැනීමත් සමඟ මේ කතාව දින 5කට පසුව නැවත අලුත් විය. ඒ අඩි 3ක් පමණ ගැඹුරු, විශාල ගමන් බෑගයක බහා තිබියදීය.

මේ ආරංචියට ජනමාධ්‍ය හරහා තටු ලැබිණ. අතුරුදන් වූ කාන්තාවක් සොයමින් සිටින පුද්ගලයන් කිහිප දෙනකුම රාගම රජයේ රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණියේ හැඬූ කඳුළෙනි. ඒ අතර මුම්ටාස්ගේ සැමියා සහ දරු දෙදෙනා ද වූහ. එවේලේ එතැන දී සිදු වූයේ ඔවුන් නොසිතූ නොපැතූ දෙයකි. ඒ මළ සිරුර වෙන කාගේවත් නොව මුම්ටාස්ගේම වීම ය.

පොලිසිය මුල සිට ම මෙය සැලසුම් සහගතව සිදු කළ ඝාතනයක් බවට සැක කළහ. මේ වන විට එය නව මානයකට හැරෙමින් තිබේ. ඒ මුම්ටාස් මරා දැමුවේ ඇයි ද යන්න කෙරෙහි ය. එසේම කිසිවකු ඊට පෙලඹුණා නම් ඒ ඇයගේ කනකර රන් ආභරණ කොල්ලකෑමේ අරමුණින් ද නොඑසේ නම් වෙනත් කෝන්තරයක් නිසා ද යනා දී වශයෙනි.

ඒ කෙසේ වෙතත් අවසන් වරට මුම්ටාස් සමඟ එකට සිටි බව කියන රොෂානා කියන්නේ සත්‍යයක් දැයි පොලිසියට සැක හැර දැන ගත යුතු විය. ඊට එක් උපායක් වශයෙන් පොලිසිය අවසන් වරට මුම්ටාස් රථයකින් ගමන් ගත් බව කියන මාර්ගය දෙපස වූ CCTV කැමරා වෙත හැරිණි. ඒ ‘ඕර්ස් ලේන්’ හෝ ඊට යාබද ඉසව්වකින් සැකකාර රොෂානා කියනා අන්දමට ඈ අපේ කතානායිකාව මුම්ටාස් පිළිබඳ ව තොරතුරක් සොයා ගත හැකි දැයි සෙවීමට ය.

එහෙත් ඒ කියන කාල පරාසයේ දී ඒ වගක් කියාපාන කිසිවක් CCTV දර්ශන ඇසුරෙන් නොපෙනුණී. ටිකෙන් ටික සැකකාර රොෂානා පරස්පර ප්‍රකාශ කරන වගක් ද පොලිසියට ඒත්තු ගැනිණි. ඇතැම් විට ඇයගෙන් ද ඒ වන විට හැ‍ඟෙන දැනෙන අන්දමට පොලිසිය සැරෙන් ප්‍රශ්න කළේය.

හිටි හැටියේ රොෂානා සහ ඇයගේ සැමියා බව කියන පුද්ගලයා අතුරුදන් වූයේ මේ අතරතුර ය. ඒ අවශ්‍ය වූ විට නැවත පෙනී සිටින්නැයි පොලිසිය ඔවුන්ට දන්වා තිබියදී ය.

මට්ටක්කුලිය සමිට්පුර නිවෙස අතහැර දමා ඒ දෙදෙනාම කොහේ හෝ ගිය වගක් පසුව පොලිසියට පෙනෙන්නට තිබිණි. එවර පොලිසිය වඩාත් තීක්ෂණ විය. ඒ සැකකාරියගේ ජංගම දුරකතනය පිළිබඳ ව වැඩි සැලකිල්ලක් දක්වමිනි. ඒ උපාය පල දැරීය. සැකකාරිය සිටිනා ඉසව්ව ඉන් හෙළි කර ගත හැකි විය. ඉනික්බිති ව මෙම අබිරහස පිළිබඳ ව විමර්ශනයේ නිරත පොලිස් කණ්ඩායම් කිහිපය එකට එක් විය. ඒ සඳහා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සහාය ද නොඅඩුව ලැබිණි. එයින් වැටලීම වඩාත් පහසු විය.

සැකකරුවන්ට වැඩ වරදී

මිනුවන්ගොඩ එකම තැනක දී රොෂානා හා බාබු පොලිසියට කොටු විය. පොලිසිය තවදුරටත් කරුණු වසන් නොකර ඇත්ත හෙළි කරන ලෙසින් ඒ දෙදෙනාටම තදින් පැවසීය. අන්තිමේ දී හඬා වැලපෙන්නට වූ සැකකරුවෝ සිද්ධිය පිළිබඳ සත්‍ය කරුණු පාපොච්චාරණය කළහ. ඉන් මතු වී ආවේ වෙනස් ම පැතිකඩකි.

“මුම්ටාස්ව අපි අපේ සමිට්පුරේ ගෙදරට එක්ක ගියා. එතැන දී ඇති වෙච්ච කතාබහක් දුර දිග ගියා. ඉන් පස්සෙයි මේ දේ වුණේ. අපිට බය හිතුණා. පැදුරක දවටලා මිනිය ලොරියකට දාගෙන ටික දුරක් ගෙනිච්චා. ඉන් පස්සේ අතරමඟ දී ත්‍රීවිලර් එකකට මාරු වුණා. මාබිම කුණු ගොඩක් ළඟ දී ට්‍රැවලින් බෑග් එක පිටින් එළියට දැම්මා.” ඒ සැකකරුවන්ගේ විස්තර කිරීම ය. ඒ කෙසේ වෙතත් පොලිසිය සැකකරුවන්ගේ කටඋත්තර ඉන්තේරුවෙන් ම පිළිගැනීමට සූදානම් නොවීය. මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණි සිරිවර්ධන මහත්මිය, රාගම රෝහලේ දී මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි නියෝග කළාය.

සපුගස්කන්ද පොලිසිය තවදුරටත් මේ පිළිබඳ ව විමර්ශන සිදු කරයි. තවමත් සැඟ වී සිටින්නන් මේ අබිරහස පසුපස සිටින්නට පුළුවන. විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැකකාරියගේ සොහොයුරකු පිළිබඳව ද ඒ අනුව සැක මතු වී ඇත.

පොලිස් විමර්ශන දෙදිනකින් අවසන්

එමෙන්ම, දෙදිනක් තුළ දී විමර්ශන හමාර කරන්නට මෙහි දී පොලිසියට හැකි විය. ඒ සැකකරුවන් දෙදෙනකු සමඟ මළ සිරුර ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ලොරි රථය ද අත්අඩංගුවට ගනිමිනි. ඒ සඳහා උපකාරී කර ගත් තවත් ත්‍රිරෝද රථයක් ද පොලිසිය මඟින් හඳුනාගෙන තිබේ.

දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට මංකොල්ලකෑමේ උත්සාහයක් පිළිබඳව ද මුම්ටාස් ඝාතනයේ දී සැක කළ හැකි ය. ඒ අවසන් වරට ඇය සතුව තිබූ මුදල් හා පැලැඳි රන් ආභරණ තවමත් අතුරුදන් හෙයිනි. එම රන් භාණ්ඩ පමණක් රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා වගට පොලිසිය සැක කරයි. ඒ හැරෙන්නට මුම්ටාස් ළඟ අවසන් මොහොතේ විශාල මුදල් ද ප්‍රමාණයක් තිබුණා වන්නටත් පුළුවන. ඒ ආදි කරුණු ගණනාවක් පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

මුම්ටාස්ගේ මරණයේ අබිරහසත් සමඟ අලුත් වූ මතක රැසකි. ඊට ආසන්න ම සිද්ධිය කොළඹ වේල්ල වීදියෙන් ඉකුත් මාර්තු මාසයේ දී හිස සුන් කාන්තා මළ කඳක් හමුවීම ය. ඒ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ජනමාධ්‍ය හරහා ලැබිණි. එහි නරක ආභාසයක් මේ බිහිසුණු අපරාධයට ද බලපෑවේ ද යන්න බොහෝ දෙනකුගේ කතාබහට ලක් ව තිබෙන්නකි.

ඇස් රතු කළ තවත් සිද්ධි

එසේම, තවත් බිහිසුණු කාන්තා ඝාතන කිහිපයක් ම ඉකුත් කෙටි කාලයේ දී වාර්තා විය. ඒ කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්වීම් ආදි කරුණු හේතුවෙනි. පොල්ගහවෙල පදිංචිකාරිනියක සේම සමාජ සේවිකාවක වූ ප්‍රියංගිකා සමන්මලී (49) තවත් එවැන්නියකි. ඒ පිළිබඳ ඉකුත් 22 වැනි දා වාර්තා වූයේ දූෂණය කිරීමෙන් පසුව ඝාතනය කර දේහය පොහොර උරයකට දමා තිබිය දී ය. දරු දෙදෙනා ඝාතනය කොට සිය දිවි නසා ගත් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳ සිද්ධිය ද හද කම්පා කරවන්නකි. මේ සිද්ධි බොහොමයක් පිළිබඳ ව පොලිසිය සාර්ථකව විමර්ශන නිම කර ඇත. එය මහජනතාවගේ ඇගයීමට ලක්ව තිබෙන්නකි.

අනෙක් අතින් කාන්තාවන්ට එරෙහි අපරාධ වැඩි වන්නට ඇතැමුන්ගේ නොඉවසිලිවන්තකම් එක් හේතුවකි. අධික මුදල් තණ්හාව ද කාමුකත්වය ද ඊට බලපෑ සැටියකි.

වැඩිහිටියන්ගේ ඒ නොහික්මුණුකම් නිසා කුඩා දරුවන් රැසකට අත් වූ ඉරණම ඛේදනීය ය. ඒ නොහික්මුණුකම් නිසා කුඩා දරුවන් රැසකට අත් වූ ඉරණම ඛේදනීය ය. ඒ මුම්ටාස් නැවත නිවෙසට පැමිණෙන තුරු වග බලා සිටින ඇයගේ දරු දෙදෙනා ද ඇතුළුව ය.

‘මළ මිනී බොරු නොකියයි..’ ඒ සනාතන සත්‍යයකි. කෙතරම් සඟවන්නට උත්සාහ කළ ද අපරාධකරුවකුට කිසිදු ගැලවීමක් නැත. නීතියෙන්, සොබාදහමෙන් පමණක් නොව හෘදය සාක්ෂියට අනුව ද එය එසේ ම ය. සාෆි ෆාතිමා මුම්ටාස් ඝාතනය තවත් වරක් ඒ ඇත්ත තහවුරු වූ අවස්ථාවක් වනු ඇත.

කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ. ජී.වයි.එස් කීර්තිසිංහ , පොලිස් පරික්ෂක රුමේෂ් රත්නායක හා උප පොලිස් පරික්ෂක දෙහිදෙනිය යන නිලධාරීහු ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් අඹුසැමි යුවළ හා ලොරි රථය අත් අඩංගුවට ගෙන තිබෙන අතර, සපුගස්කන්ද පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. කේ.විජේතිලක හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්. අමරසේකර ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙනි)

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූප – දෙල්ගොඩ සමූහ සහ මල්වාන සමූහ

Leave a Comment