ඔස්ට්‍රේලියාවේ ඇස්ටන් අගාර් ගැන මේ දවස්වල ශ්‍රී ලාංකික ජනතාව වැඩි උනන්දුවක් දක්වනවා. ඒ ඔහුගේ මව වන සෝනියා හේවාවිස්ස ශ්‍රී ලාංකික කාන්තාවක් වීම හේතුවෙන්.මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය රටේ පවතින සියලු අර්බුද අමතක කරලන්නට තරම් සමත් වී ඇති සැටියක් ද පෙනෙන්නට තිබෙනවා. කොළඹ ප්‍රධාන නගරයෙන් බැහැරව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වූ විස්සයි විස්ස තරගයේ දී ද දැනට පැවැත්වෙන එක්දින තරගාවලියට ද සහභාගී වන ක්‍රීඩාලෝලීන් ගණන දුටු විට ඒ වග තවදුරටත් පැහැදිලි වෙනවා.
ඒ අතරේ ඇස්ටන් අගාර් වැනි ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වන විට ඔහු පිළිබඳ තොරතුරු මැවෙනවා.පිරිත් නූලක් අත බැඳී විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිටියේ තරඟ වදින විට ඒ ගැන උනන්දු වන්නට කවුරුත් පෙළඹෙනවා. ඔහු පිළිබඳ ජනතාව අවදි වුණේ ඇස්ටන් අගාර් සිය මවගේ නිවසට ගොස් ඡායාරූපයක් මුහුණු පොතේ පළ කිරීමත් සමගයි.
මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ අගාර්ගේ සීයා ගේ නිවස පිහිටා තිබෙනවා. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සීයා මහනුවර ධර්මරාජ විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්. ඔහු නමින් නාලක හේවාවිස්ස.ඔහුගේ දියණිය වන සෝනියා හේවාවිස්ස වසර 1974 දී ඔස්ට්‍රේලියාවට පිටත්ව යන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහායි. එහිදී ඇයට ජෝන් අගාර් මුණගැහෙනවා. ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව සෝනියා ජෝන් විවාහය සිදුවෙනවා. පුතුන් තිදෙනෙකු ගෙන් යුතු පවුලක් සමග සෝනියා සහ ජෝන් ඉතා සතුටින් ඔස්ට්‍රේලියාවේ වාසය කරනවා. ඔවුන්ගේ වැඩිමල් පුත් වන ඇස්ටන් අගාර් තරුණ වියට පා තබනවාත් සමඟම ක්‍රිකට් පිළිබඳ වැඩි උනන්දුවක් සහ දක්ෂතාවයක් දක්වන බව මේ යුවළට අවබෝධ වීම ඔස්සේ ඔවුන් ඔහුව ඒ සඳහා යොමු කරනු ලබනවා. ඔවුන් සිය පුතු පුහුණුවීම් සඳහා යොමු කරන අතර ඔහුගේ දක්ෂතා අනුව 2013 ජූලි එංගලන්ත අළුබඳුන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව ද හිමි වනවා.
“පුතා එංගලන්ත ක්‍රිකට් තරගයට තේරුණු මොහොතේ අපට ලොකු සතුටක් දැණුනා. මම ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන මෙල්බර්න් බෞද්ධ විහාරයේ විජිත නාහිමියන් මුණගැසීමට පුතා එක්කගෙන ගියා. ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ පුතාට සෙත් ප්‍රාර්ථනා කරලා පිරිත් නූලක් ගැට ගැහුවා…”
සෝනියා ඔස්ට්‍රේලියානු මාධ්‍ය හමුවේ එසේ ප්‍රකාශ කර තිබුණා.අගාර්ගේ එංගලන්ත අළුබදුන ක්‍රිකට් තරගාවලිය මංගල තරගාවලිය වුවත් එය ක්‍රීඩා ලෝලීන්ගේ හදවතේ නොමැකෙන සටහනක් තබන්නට තරම් වාසනාව ගෙන ඇවිත් තිබුණා. කණ්ඩායමේ එකොළොස් වැනි පිතිකරු ලෙස නම් කොට සිටි ඇස්ටන් අගාර් ටෙස්ට් තරගාවලියේ තීරණාත්මක මොහොතට මුහුණ දෙමින් අනිත් කඩුල්ල ද රැකගනිමින් පිතිකරුවකුගේ භූමිකාවේ ඉහළම චරිතය නිරූපණය කරන්නට තරම් සමත් ව තිබුණා. හතරේ පහර 10ක් හයේ පහර හතරක් සමග පන්දු 134 කදී ලකුණු අනූ අටක් ලබා ගැනීමට ඔහුට හැකි වී තිබුණා. ටෙස්ට් තරගයකදී අංක 11 පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය එය බවට වාර්තා තබමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රියත්වයට පත්වූයේ එතැනින්.
“පුතා ලංකාවට බොහෝ සේ ඇලුම් කළා. පරිසරයට මිනිසුන්ට ඔහු ඉතා කැමැත්තක් දක්වන බව මට ඔහුගේ කතාබහෙන් තේරුණා. අපේ නිවසේ නිතරම හැදෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික කෑම වර්ග. බත් ව්‍යංජන වගේම ආප්ප, පිට්ටු වැනි ආහාර මම නිතර නිවසේ හදනවා. ඒවට පුතාලා බෙහෙවින් කැමැත්තක් දක්වනවා. ඒ විතරක් නෙවෙයි බෞද්ධ දර්ශනය සිරිත් විරිත් ගති පැවතුම් වුණත් එයාලට හුරුයි. ඒ නිසාම අපි ලංකාවට යෑම සඳහා සැලසුම් කරගෙන හිටියා. නමුත් දෛවයෙන් ලද ආශිර්වාදයක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරය නියෝජනය කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුණෙන් එය අප ලද භාග්‍යයක්…’ ඔහුගේ මව එරට මාධ්‍ය හමුවේ කියා තිබුණා. ඒ වාසනාව අනුව ඇස්ටන් අගාර් මෙවර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සමග පැමිණ අද ලංකාවේ සිටිනවා.
ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු පන්දු යවන්නෙකු ලෙස පන්දු ඕවර 12ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 48 ක් පමණක් ලබා දීමට තරම් දක්ෂ පන්දු යවන්නෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමට විශිෂ්ට මෙහෙයක් ඉටුකරන ඇස්ටන් අගාර් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අතර නොමැකෙන මතකයක් තබා යන බව නම් නිසැකයි.