බාල බාප්පාගේ නිවසේ ඇති කරන පරවියන් බැලීමට ගිය පුතා ගැන සොයන්න ගිය ඔහුගේ පියා සහ පියාගේ සහෝදරයන් දෙදෙනකු සමග එම ස්ථානයේදී පෙරේදා එනම් පහළොස් වැනි දා රාත්‍රියේ ඇති වූ බහින් බස් වීමක් අතරතුර එක් සහෝදරයකු ඇද වැටී ජීවිතය විනාශ වී ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි.
මෙසේ දිවි අහිමි වූයේ වචන හුවමාරුවට මැදි වූ සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමල් සහෝදරයා වූ මොරටුමුල්ලේ පදිංචි සුගත් කුමාර නමැති හතළිස් දෙහැවිරිදි පුද්ගලයෙකි. බාල මල්ලි සහ ඒ අසල නිවසක පදිංචිව සිටින තවත් සහෝදරයකු හා මෙම දිවි අහිමි වූ ලොකු අයියා අතර මෙම වචන හුවමාරුව සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම සිදුවීම පහර දීමෙන් සිදු වූ සිද්ධියක් ද එසේත් නැතිනම් හර්දයාබාදයක් ද යන්න සෙවීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි. දිවි අහිමි වූ අයගේ පුතා පරවියෙකු බැලීමට බාල සහෝදරයාගේ නිවසට යෑම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් නිරාකරණය කර ගැනීමට යාමේ දී ඇති වූ වචන හුවමාරුවක දී මෙම සිද්ධිය සිදු වී ඇතැයි නිශ්චිත හේතුවක් නොමැති වුවත් වැඩිමහල් සහෝදරයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ගෙන යන අතරතුර දී මෙසේ දිවි අහිමි වී තිබුණා.

මෙලෙස දිවි අහිමි වූ සහෝදරයාගේ බිරිඳ විදේශ රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර සිය දරුවන් තිදෙනා රැකබලා ගනිමින් ජීවත් වූයේ මෙම පුද්ගලයා බව පොලිසිය පවස ඔහුගේ සිරුර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධියට සම්බන්ධ බව කියන බාල සහෝදරයන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 37 සහ 38 අතර පසුවන්නන් බව සඳහන් කරන පොලිසිය ඔවුන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සදහන් කළා. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.