World News

මරණය පෙනී පෙනී තමන්ගේ බිරිදට සැමියෙක් ලියූ සංවේදී ලියුම.

මේ ඛේදජනක සිදුවීම සිදු වූයේ 1902 තරම් ඈත අතීතයකයි. නමුත් අදත් මේ ලිපිය කියවන ඔබට එදා මේ පුද්ගලයා මුහුණ දුන් අති දුෂ්කර සිදුවීමේ වේදනාව මදක් හෝ අනිවාර්‍යෙන්ම දැනේවී. තමන්ගේ මරණය පෙනී පෙනී සිය බිරිදට ඔහු ලියා යැවූ මේ ලිපිය තුලින් ඔහු ලෝකයටම ලබා දුන් පණිවිඩය සුළු පටු එකක් වන්නේ නැහැ.

1902 මැයි 19 වන දින එක්සත් ජනපදයේ ටෙනසි ​​ප්‍රාන්තයේ ෆ්‍රෙටර්විල් ග්‍රාමය අසල පිහිටි ගල් අඟුරු ආකරයක් තුළ ගෑස් කාණ්දුවක් නිසා ඇතිවන පිපිරීමෙන් පසු එය තුළ ඔක්සිජන් වායුව නැතිවීමෙන් (The coal mine disaster in Fraterville TN) එම පතල තුළ එම අවස්ථාවේ වැඩ කරමින් සිටි පතල් කම්කරුවන් 216 ක් මිය ගිය අතර, එහි ඇතිවූ පළමු පිපිරීම සහ පසුව ඇතිවූ සිද්ධින් වලින් පසුව එය ප්‍රාන්ත ඉතිහාසයේ දරුණුතම පතල් ව්‍යසනය බවට ප්‍රකාශයට පත්වෙනවා.

ෆෙටර්විල් ගල් අඟුරු ආකර ව්‍යසනයෙන් මියයන මිනිසුන් 216 දෙනා අතරට මෙම ලිපිය ලියූ ජේක් සහ ඔහුගේ පුත් එල්බර්ට් ද අයත් වෙනවා. පිපිරීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ සහ තව කිහිප දෙනෙකුගේ ජීවිත බේරුණත් ඔක්සිජන් නැතිකම නිසා මරණයට ලංව සිටින ඔවුන්ගේ ජීවිතයේ අවසාන මොහොතේ ජේක් විසින් මෙම ලිපිය තම ආදරණීය බිරිඳට මෙසේ ලියනවා. නමුත් මෙය ඇයට ලැබෙන්නේ සෑහෙන කාලයක් ගොස් සියල්ල ශෝක ජනක ලෙස අවසන් වූ පසුවයි.

මේ එම ලිපියේ සිංහල පරිවර්තනයයි.

එලන් මගේ ආදරියේ,

අපි දෙන්නම ඔයාට සමුදෙන්නයි සූදානම් වෙන්නේ. එල්බර්ට් කියනවා දෙවියන් වහන්සේ තමයි අපිව බේරගත්තේ කියල. අපි දෙවියන් යදින්නේ අපිට හුස්ම ටිකක් දෙන්න කියලයි. ඒත් තත්වය එන්න එන්නම නරක් වෙනවා විතරයි. එලන් ඔයා හොදින් ජීවත් වෙලා ස්වර්ගයට එන්න. ඔයාට පුලුවන් තරම් හොදින් දරුවන් උස්මහත් කරන්න.

මම කොයිතරම් ඔයා එක්ක ඉන්න කැමති උනත් මට දැන් ඔයාට සමු දෙන්න වෙනවා. අපේ පොඩි එකා එඩී දාපු තැනම මාවයි එල්බර්ටුයිත් වලදමන්න. එහෙනම් මං සමුගන්නවා එලන්, මම යනවා ජෙමී, මම යනවා හොරාස්.

අපි එකට ඉන්නේ. දැන් දෙක පහු වෙලා මිනිත්තු 25 යි. තව අපි කීප දෙනයි ජීවත් වෙලා ඉන්නේ.

මේ ජේක් සහ එල්බර්ට්.

අනේ දෙවියනේ අපිට එක හුස්මක් දෙන්න. එලන් ජීවත් වෙලා ඉන්නකන් මාව අමතක කරන්න එපා. මම ගිහින් එන්නම් ආදරියේ.

Leave a Comment