වසර තුනකට පෙර ආනයනය කරන ලද බාස්මති සහල් මෙට්‍රික් ටොන් 975ක් ජයබහලු පර්යන්තයේ ගොඩගසා ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව පවසයි.
බහලුම් තිස්නවයක ඇති මෙම සහල් තොගය මේ වනවිට මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
එම නිසා සහල් තොගය මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නොවන්නේ නම් අදාළ අනුමැතීන් මත සත්ව ආහාර සඳහා විකිණීමට සුදුසු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී තිබේ.
මෙම සහල් තොගය 2019 වසරේ දෙසැම්බර් මස නිදහස් කිරීම නතර කර ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ පාලන අංශයේ නියෝගයකට අනුවය. ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය සහල් තොගය ආනයනය කර ඇත. මෙම සහල් තොගය ඇතුළත් බහලුම් අවස්ථා කිහිපයකදී පරීක්ෂා කර ධුමායන කටයුතුද සිදුකර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ සහල් පරික්ෂණ සහ සංවර්ධන ආයතනය හා ජාතික ශාක නිරෝධායන ආයතනයද සහල් තොගය පරීක්ෂා කර ඇතත් මෙතෙක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා රේගුව අවසර ලබාදී නොමැත.