Advice to Life

රෙගියුලේටරයක් සවිකරගන්නා නිවැරදි ආකාරය

අතීතයේ කාන්තාවන් දරවලින් ආහාර පිසීමට කටයුතු කළත් වර්තමානයේ තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඒ කාර්‍යය අපහසුයි. ගිනි දල්වමින්, දුම් වැදෙමින්, ලිපට පිඹිමින් කරන කරදරය ගෑස් ලිප භාවිතයෙන් නැති කර ගන්න පුළුවන්. එ වගේම එකවර ආහාර වර්ග කිහිපයක් පිස ගන්නට හැකිවීම, දුම් දැලි අළුවලින් තොරවීම ගෑස් ලිපක් භාවිතයෙන් අපිට ලැබෙන හිතකර දේවල්.

දර ලිපකට වඩා වාසිදායක වුණත් ගෑස් උදුන විදුලි උපකරණ තරම්ම සැලකිලිමත් විය යුතු අවදානම් සහිත උපාංගයක්. ගෑස් උදුන් වගේම ගෑස් සිලින්ඩරය ගැනත් සැලකිලිමත්ව සිටීම ඉතාම වැදගත්. ගෑස් උදුනක් භාවිතයෙන් ආහාර පිසින ඔබ දැනගත යුතුම කරුණු බොහෝමයක් තියෙනවා. ඒ අතරින් නිසි අවබෝධය මේ ආශ්‍රිතව ඇතිවන අනතුරුවලින් වැළකීමට උපකාරී වෙනවා.

අද නොයෙක් අවස්ථාවල ගෑස් කාන්දුවීම් නිසා ඇතිවන අනතුරු ගැන අපිට අහන්න ලැබෙනවා. සුළු තුවාල වගේම ඉතාම දරුණු පිළිස්සීම් වගේම මරණයට පත්වීමටත් ඉඩ සලසන මේ ගෑස් උදුන භාවිතා කරන්න ඕන ඉතාම පරෙස්සමෙන්.

සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයක් පහසුවෙන් පුපුරා යන්නේ නැහැ.ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමට නම් එය ඍජු ලෙසම තාපයට නිරාවණය වෙන්න ඕන. බොහෝ අවස්ථාවල දී ගෘහාශ්‍රිතව සිදුවන අනතුරුවල දී බොහෝ විට සිදු වෙන්නේ LP වායුව අවට ඇති වාතය හා මිශ්‍රව ක්ෂණිකව දහනය වී වාතය ඇති  සැමතැනකම පැතිරීමක්. එවැනි අවස්ථාවක විදුලි ස්විච්චයක් දැල්වුවොත් එහි අභ්‍යන්තරයෙන් නිකුත් වන කුඩා ගිනි පුළුගුවකට පවා ඒ වායුව දහන කරන්නට පුළුවන්.ඒ දහනයේ දී වාතය තැවරී ඇති සැම තැනක්ම එකවර ගිනි ගැනීමට ලක්වෙනවා. කොහොමවුණත් නිවැසියන්ගේ නොසැලකිලිමත්කම් මේ අනතුරු ඇතිවෙන්න හේතු වෙන්න පුළුවන්.

ඉතින් අපි බලමු බොහෝ දෙනෙක්ට මුහුණ දෙන්න සිදුවෙන ගෑස් කාන්දුවක දී අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්-ග  මොනවද කියලා.

ගෑස් කාන්දුවක් හඳුනා ගන්නේ කොහොමද ?

ගෑස්වල ඇති දුර්ගන්ධය නිසා ගෑස් කාන්දුවීමක් වාතයේ ඇති බව වාතයේ ගඳින් පහසුවෙන්  හඳුනා ගත හැකියි. ඇතැම් අවස්ථාවල ගෑස් කාන්දුවන තැනින් සියුම් ශබ්දයක් ද ඇසිය හැකියි.

ඒ වගේම හඳුනාගත නොහැකි කරකැවිල්ලක් හෝ හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම් එය ගෑස් කාන්දුවක් විය හැකියි. ඒ නිසා ගෑස් උදුන හා සිලින්ඩරය පිළිබඳව සැලකිලිමත්  වන්න. ඒ වගේම උදුනේ දැල්ල නිල් පැහැය නොවී කහ පැහැයක් හෝ රතු පැහැයක් ගනී නම් ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි.එවැනි අවස්ථාවක ලිප දැල්වීමෙන් වැළකීමෙන් මේ අනතුරු වළක්වා ගත හැකියි.

මෙවැනි අවස්ථාවක ගෑස් කාන්දුවක් ඇති බව තහවුරු කර ගන්න ගෑස් ලිප සහ සිලින්ඩරය සම්බන්ධ කරන බටයටත් සබන් වතුර ඉසීමෙන් පුළුවන්. කාන්දුවක් ඇත්නම් සබන් පෙණ බුබුළු දමමින් විශාල වෙන බව දකින්න පුළුවන්.

ගෑස් කාන්දුවක දී ඔබ කළ යුතු දේ !

  • පළමුව ගෑස් ලිප ක්‍රියාවිරහිත කරන්න.
  • කාන්දුව සිදුවන්නේ බටයෙන් හෝ උදුනෙන් විය හැකි නිසා රෙගුලේටරයේ වෑල්වය ක්‍රියාවිරහිත කරන්න.
  • සිලින්ඩරයට සම්බන්ධ කර ඇති තොප්පියක හැඩැති ප්ලාස්ටික් කොටස ගෑස් වෑල් එකට සවි කරන්න.
  • වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ සියලු ජනෙල් දොරවල් විවෘත කරන්න. 
  • කිසිම විදුලි ස්විචයක් දල්වන්න එපා !
  • ඒ අසල ගින්දර දල්වන්න එපා !
  • ප්‍රධාන විදුලි පරිපථය විසන්ධි කරන්න.
  • ජංගම දුරකථන භාවිතා කරන්න එපා ! 
  • කාන්දුව සිදුවන තැන සිතාගත නොහැකි නම් රෙගුලේටරය ඉවත් කර සිලින්ඩරය නිවසින් පිටතට ගෙන ගොස් පුද්ගලයන් නොගැවසෙන වාතාශ්‍රය හොඳින් ලැබෙන තැනක තබන්න.
  • සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වේ නම් කාන්දු වී අවසන්වීමට ඉඩ තබා අලෙවි නියෝජිතයාට ඒ බව දැනුම් දෙන්න
  • ගින්නක් ඇවිලී ඇත්නම් ආරක්ෂිතව රෙගුලේටර වෑල්වය ක්‍රියා විරහිත කරන්න. එයින් ගින්න නැවැත්විය නොහැකි නම් හෝ වෑල්වය වසා දැමීමට නොහැකි නම් ගිනි දැල්ල පමණක් නිවා දැමීමට උත්සාහ නොකරන්න. ඒ සඳහා ජලය කිසිවිටෙකත් භාවිතා කරන්න එපා. එයින් කාන්දු වන ගෑස් ධාරව අඛන්ඩව එකතු වී  පිපිරීමක් සිදු විය හැකියි. එවැනි අවස්ථාවල වෙනත් ද්‍රව්‍යවලට ගින්න පැතිරීමට නොදී ඒ වායු ධාරාව දහනය වී අවසන් වීමට ඉඩ හරින්න.
  • ගෑස් කාන්දුවීමකින් ආරක්ෂා වීමට උපදෙස්  
  • සෑම අවස්ථාවකම ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේ දී නිසි පරිදි සැලකිලිමත් වීමෙන් මේ අනතුර මඟහරවා ගත හැකියි. විශේෂයෙන්ම ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්නා විට එහි මුද්‍රාව නොකැඩී තිබේ ද යන්න පරීක්ෂා කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම ගෑස් සිලින්ඩරයේ කර හෝ බඳ ආශ්‍රිතව යම් තෙත් ගතියක් හෝ අසාමාන්‍ය සීතල ගතියක් පවතී නම් එය ගෑස් කාන්දුවක් විය හැකියි. ඒ නිසා සිලින්ඩරයක් මිලට ගැනීමේ දී සැලකිලිමත් වීම අනිවා-ර්ය වෙනවා.
  • LP වායුව පීඩනය අඩුකර උදුන වෙත ලබාදෙන රෙගුලේටරය තෝරා ගැනීමේදීත් වඩාත් සැලකිලිමත් විය යුතුයි. මුදල් ඉතිරිකර ගැනීමට ප්‍රමිතියෙන් බාල,මිලෙන් අඩු රෙගුලේටර් භාවිතය ගෑස් කාන්දුවීමකට හේතු විය හැකියි. රෙගුලේටරය හොඳින් සිලින්ඩරයට සම්බන්ධ නොවේ නම් රෙගුලේටරය උඩින් ගලක් වැනි බර දෙයක් තබා භාවිතයට ගැනීම ගෑස් පිටතට කාන්දුවීමට හේතු වෙනවා. එබැවින් රෙගුලේටරය පිළිබඳව සැලකිලිමත්වීම අනතුරුවලින් වැළකීමට උපකාරී වෙනවා.
  • ඕනෑම බටයක් රෙගුලේටරයේ සිට උදුන දක්වා ගෑස් ගෙනයාමට භාවිතා කළ නොහැකි නිසා BS 3212 යන ප්‍රමිතියෙන් යුතු බටයක් වගකීම් සහගත අලෙවි නියෝජිතයෙකුගෙන් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.
  • රෙගුලේටරය වගේම වායු බටයත් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට නොහැකි බව මතක් තබා ගත  යුතුයි. වායු බටයේ කැපීමක් හෝ තුවාලවීමක් ඇත්නම් එයට වෙළුම් පටි ආදිය යොදා භාවිතයට ගැනීමෙන් වැළකිය යුතුයි. එයින් ගෑස් කාන්දුවීමට ඉඩ තියෙන  නිසා. සෑම වසර දෙකකට වරක්ම වායු බටය මාරු කිරීමටත් මතක තබා ගත යුතුයි.
  • ගෑස් බටය මැදින් කපා මැදින් සම්බන්ධ කර වෙනත් උදුන්වලට ගෑස් ලබා ගැනීමට කටයුතු කිරීමත් ඉතාමත් අවදානම්. ඒ නිසා  ගෑස්  ගෑස් කාන්දුවීම සිදුවිය හැකියි.
  • ගෑස් සිලින්ඩරය පෙරළාගෙන යාමෙන් හෝ බිමට අතහැරීමෙන් වැළකීමත් ගෑස් කාන්දුවීම් ඇති නොවෙන්නට හේතුවක්.
  • උදුන සහ රෙගුලේටරය අතර පැවතිය යුතු වෙන්නේ මීටර 1.5 කට අඩු එක් අඛණ්ඩ ගෑස් ටියුබයක් පමණයි.එහි රෙගුලේටරයට සහ උදුනේ නලයට බටය සම්බන්ධ වෙන කෙළවරවල් දෙක හොඳින් සම්බන්ධ කිරීමත් ගෑස් කාන්දුවීමක් වළක්වා ගන්නට උපකාරී වෙනවා.
  • නිතරම රෙගුලේටරය ගලවා ඉවත් කිරීමෙන් වැළකී ගෑස් සිලින්ඩරය අවසන් වූ විට පමණක් රෙගුලේටරය ගැලවීමට වග බලා ගැනීමත් ගෑස් කාන්දු නොවෙන්නට හේතුවක්.
  • ගෑස් සිලින්ඩරය හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක තැබීමට මතක් තබාගත යුතු වෙනවා. එයින් ගෑස් කාන්දුවක් සිදුවුණත් වායුව එක්රැස් වීම් අවම වන නිසා. ඒ වගේම ගෑස් බටය හොඳින් පෙනෙන ස්ථානයක තබා ගැනීම. එයට හානියක් වුණොත් එය පෙනෙන නිසා ගෑස් අනතුරු වළක්වා ගන්න උපකාරී වෙනවා.
  • අධික තාපයට හෝ ගිනි දැල්වලට නිරාවරණය වන තැන ගෑස් සිලින්ඩරය  නොතැබිය යුතුයි.
  • භාවිතා නොකරන අවස්ථාවල දී රෙගුලේටරයේ ස්විචය ක්‍රියාවිරහිතවන දෙසට කරකවා තැබීමත් ගෑස් කාන්දුවීමක් ඇතිවීම වළක්වා ගන්නට උපකාරී වෙනවා.
  • පොළව මට්ටමෙන් යට ඇති කාමරවල ගෑස් සිලින්ඩර් භාවිතා නොකිරීමත් ගෑස් අනතුරුවලින් වැළකීමට උදව්වෙනවා .
  • ගෑස් ලිප දැල්වීමට පෙර ජනෙල් දොරවල් හොඳින් විවෘත කර ගෑස් ගන්ධයක් ඇතිදැයි පරීක්ෂා කර විනාඩි  10කින් පමණ පසු ලිප දැල්වීම කළ යුතුයි.

 එදිනෙදා ජීවිතයට පහසුව ගෙනෙන ගෑස් උදුන් භාවිතයේ දී කාන්දුවක් ඇතිවීම වැළැක්වීමටත්, එයින් ආරක්ෂාවීමටත් මේ පියවරවල් අනුගමනය කිරීම ඉතා වැදගත්.

Leave a Comment