අධික බීමතින් නිවස බලා සුඛෝපභෝගී රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියක ගමන් කළ එකම පවුලේ තිදෙනෙක්ව අනතුරට ලක් කොට පළාගොස් නිවසේ නිදා සිටි කෝටිපති ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ආණමඩුවේ පදිංචි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙයි.
සැකකරු ආණමඩුව, පේත්තුකුලම ප්‍රදේශයේ වාහන පින්තාරු කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යනු ලබන කෝටිපති ව්‍යාපාරිකයෙකි.
40 හැවිරිදි අදාළ කෝටිපති ව්‍යාපාරිකයා සිය මිතුරන් කිහිපදෙනෙක් සමග වැටියපහළගම වැවේ මත්පැන් පානය කර අධික ලෙස බීමතින් සිය රථයෙන් යළි නිවස බලා ගමන් කරමින් සිටියදී එම අනතුර සිදුව තිබුණි.
ඉන් යතුරු පැදියේ ගමන් ගත් එකම පවුලේ මව , පියා සහ වයස අවුරුදු 14 ක් වු දියණිය බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් පුත්තලම මූලික රෝහල වෙත ඇතුළු කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තේය.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ තිදෙනාම ශල්‍යකර්මවලට ලක් කෙරුණු බවයි.
මේ අතරවාරයේ අධික ලෙස බීමතින් සිට අනතුර සිදු කළ කෝටිපති ව්‍යාපාරිකයා තුවාලකරුවන් පිළිබඳව කිසිදු තැතීමක් නොකර සිය නිවස බලා සිය රථයෙන්ම ගමන් කර තිබුණි.
පසුව ඔහු සිය ජීප් රථය නිවස අසල නවත්වා නින්දට ගොස් තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ආණමඩුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ පොලිස් රාජකාරියටද බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.
නමුත් එල්ල වූ විරෝධය නොතකා කෝටිපති ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගත් පොලීසිය ඔහුව ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ශ්වසන පරික්ෂණයක් සඳහා යොමු කළ අවස්ථාවේදීත් ඔහු ඊට බාධා කරමින් පහත් ලෙස හැසිරී ඇති බව වාර්තා විය.
සැකකාර ව්‍යාපාරිකයා ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ බීමතින් අනතුරක් සිදුකිරීම, අනතුර සිදුකර පළායාම, පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා පටබැඳිගේ මහත්මිය නියෝග කළේ සැකකාර ව්‍යාපාරිකයාව එළැඹෙන සැප්තැම්බර් 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.
එමෙන්ම සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද අධිකරණය නියෝග කළේය.