කෑෂ් ඇතත් ගෑස් නැති වූ පෝලිම් යුගය හමාර කළ හැටි ගැන ලිපියක් පුවත්පතක පළ කරන ලද්දේ මීට සති කිහිපයකට පෙරය. එම ලිපියේ සඳහන් වූයේ මෙරට ගෑස් අර්බුදය නිමා කළ හැටි ගැනය. ලෝක බැංකුවත් සහය කරගෙන පූර්ණ විනිවිදභාවයෙන් යුතුව කෙරුණ ඒ ගෑස් මෙහෙයුම ගැන සවිස්තරාත්මක, එහි කරුණු දක්වා තිබුණි.
ඒත් කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් මේ ගෑස් ගනුදෙනුවේදී රුපියල් බිලියන 1.3 ක් ගසා කා ඇති බවට කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ මවිතයට හේතු වී තිබේ. වඩාත් බරපතළ ප්‍රශ්නය වන්නේ මේ ගෑස් ගනුදෙනුව ගැන කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස චරිත හේරත් දැන සිටීමය. ඊටත් වඩා ජූලි 5 හෝ ආසන්න දිනකදී කෝප් කමිටුව නිර්දේශ කොට ඇත්තේ මෙම ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදු කරන ලෙසය. චරිත කියන්නේ ඩොලර් 96 කට ගන්නට තිබුණ දේ ඩොලර් 125 කට මිල දී ගැනීම ගසා කෑමක් බවය. එහෙත් චරිත මේ කියන්නේ වැඩි මිලකට ගෑස් මිල දී ගැනීමට හේතුව ප්‍රායෝගික හේතුන් වන සත්‍ය කාරණා යටපත් කර දැමීමය.
කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් කියන මේ ගෑස් ගනුදෙනුව කරළියට එන්නේ 2022 ජනවාරියේය. මුලින්ම සිදු කරන ලද්දේ 2022 -23 වසර සඳහා මාස 12ක දීර්ඝ කාලයකට ගෑස් සැපයීමට ජාත්‍යන්තර ගෑස් සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් මිල ගණන් කැඳවීමය. මෙම ටෙන්ඩරය ප්‍රකාශයට පත් කොට ඇත්තේ 2022 ජනවාරි 9 වැනි දිනදීය. මිල ගණන් කැඳවීමේ අවසන් දිනය ලෙස මාර්තු 16 දිනය ප්‍රකාශයට පත් කරන ලදී.
ටෙන්ඩරය විවෘත කිරීමෙන් පසු අවම ටෙන්ඩර් කරුවන් තිදෙනා තෝරා ගන්නා ලදී. පළමු සැපයුම්කරු ලෙස තෝරාගත් Siam trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව ඇමරිකානු ඩොලර් 96ක්,
දෙවැනි අවම මිල ගණන් ඉදිරිපත් කළ O Q trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව ඇමරිකානු ඩොලර් 129ක්. තෙවැනි අවම මිල ගණන් ඉදිරිපත් කළ BB Energy(Asia) ltd ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව ඇමරිකානු ඩොලර් 148ක්. 2022 මාර්තු 16 වනදා මේ ලංසු විවෘත කිරීම සිදු කළ අතර, අදාළ තාක්ෂණික කරුණු තවදුරටත් සොයා බැලීමෙන් පසුව ප්‍රසම්පාදන කමිටුව අඩුම ලංසුව ඉදිරිපත් කළ සියම් සමාගමට ටෙන්ඩරය ලබා දීමට තීන්දු කර ඇත. ඒ අප්‍රේල් 26 වනදාය. ඒ අනුව සියම් සමාගමේ වරායන්ට මෙම ගෑස් තොග මැයි මාසයේ සිට අඛණ්ඩව ලබා දීමය. නමුත් මෙහිදී ලිට්‍රෝ සමාගම මුහුණ දුන් ගැටලුවක් විය. ඒ මෙම ගෑස් තොගය වෙනුවෙන් වන ණයවර ලිපි විවෘත කර ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපයා ගැනීමට නොහැකි වීමය. ගිවිසුමට අනුව අත්තිකාරම් මුදලක් ලෙස ඩොලර් මිලියන 37.5 ක ගෙවිය යුතුව තිබු අතර ඒ ණයවර ලිපියක් හරහාය. එහෙත් ලිට්‍රෝ සමාගමට ඒ හැකියාව ඒ මොහොතේ තිබුණේ නැත.
අවසානයේ රටේ ගෑස් නැති විය. මේ පසුබිම යටතේ රජය සියම් සමාගමට ඩොලර් 96 බැගින් වන මෙට්‍රික් ටොන් 280,000ක ගෑස් ටෙන්ඩරය ලබා දීමට අනුමත කළ නමුත් එම සමාගම ඉල්ලා සිටි ණයවර ලිපි විවෘත කර ගැනීමේ හැකියාව රජයට තිබුණේ නැත. අනතුරුව රජය තීරණය කළේ කෙටිකාලීන හදිසි මිල දී ගැනීමක් වෙනුවෙන් යොමු වීමය. එහිදීද අපේක්ෂිත ඉලක්කයට යන්න නම් ගෑස් මෙට්‍රික් ටොන් 100,000 පමණ සපයා ගැනීමට රජයට දස දෙසින් බලපෑම් එල්ල වෙමින් පැවතුණි.
නැවත වරක් හදිසි මිල දී ගැනීමක් වෙනුවෙන් සැපයුම්කරුවන් සලකා බැලීම සිදුවන්නේ එහිදීය. මුලිකව සති දෙකකට ප්‍රමාණවත් මෙට්‍රික් ටොන් 15,000 ක් කඩිනමින් ලබා ගැනීම රජයේ අරමුණ විය. අඩුම ලංසු ලබා දුන් සමාගම් දෙකෙන් ලංසු කැඳවීමක් සිදු කරනු ලැබුවේ ඒ අනුවය. එහි දී සියම් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එක ඩොලර් 112 කට සැපයීමට මිල ගණන් ලබා දුන් අතර දෙවැනි අඩු ලංසුවක් තැබු O Q trading නම් ඕමාන සමාගම පෙර ලංසු තැබු ඩොලර් 129 මිලටම හදිසි මිල දී ගැනීම වෙනුවෙන්ද ලංසු තබා තිබීම විශේෂ සිදුවීමක් විය. එහෙත් එම තත්ත්වයන් යටතේද සියම් සමාගමට ලබා දීමේ හැකියාව තිබුණේ ගෑස් මෙට්‍රික් ටොන් 6,600 ක් පමණි. ඒ බව අදාළ සමාගම ලිට්රෝ සමාගම දැනුවත් කර තිබිණ. ඒ අනුව සියම් සැපයීම ප්‍රමාණවත් වන්නේ දින හතරකට හෝ පහකට පමණය. එපමණක් නොව ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව දින 10 ක තරම් කාලයක් මෙම ගෑස් සැපයුම වෙනුවෙන් එම සමාගම කාලයද ඉල්ලා තිබිණ.
ටෙන්ඩරය ඕමාන සමාගමට ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය නිකුත් කරන්නේද ඒ අනුවය. මාස හතරකට සෑහෙන ගෑස් අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 100,000 ය. මාසයකට මෙ.ටොන් 25,000 ගනණේ ලබා දිය හැකි බව ඕමාන සමාගමේ එකඟතාව විය. ඊට අදාළ කෙටි කාලීන ගිවිසුම ජුනි 15 වැනිදා කැබිනට් අනුමැතියට යටත්ව අත්සන් කර ඇත. ඒ සමඟ සියම් සමාගම සමඟ මුලින්ම එකඟතාව දැක් වු ටෙන්ඩරය අවලංගු කිරීමත් සුදු වුයේ කැබිනට් මණ්ඩලය විසින් බව කෝප් කමිටුවේ සභාපතිවරයා දැනුවත් නොවීම පුදුම සහගතය.
පූර්ණ විනිවිද භාවයෙන් සිදු කෙරුණු මෙම ගෑස් ගනුදෙනුව නිසා රටට ලැබුණු සහනය ගැන කවුරුත් කතා කරන්නේ නැත. ඒ මුදල් ගෙවීමේදී ඕමාන සමාගම වෙතින් ලැබුණු සහනයයි. අත්තිකාරම් නොමැතිව රුපියල්වලින් ගෙවීම් ආදි විකල්ප ක්‍රම ඇතුළත් ක්‍රමවේදයක් ජුනි 07 වන විටත් කැබිනම් මණ්ඩලයට ඉදිරිපත්ව තිබිණි. ඒ අනුව මේ දක්වා වන ගනුදෙනුව රජයේ හෝ ලිට්‍රෝ සමාගමේ හුදු අත්තනෝමතිකත්වයක් හෝ සැක සහිත ගනුදෙනුවක් ලෙස ගත හැකි කිසිවක් නැත. මේ ගනුදෙනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ පූර්ණ දැනුවත් භාවය හා අනුමැතියට යටත්ව රජය පිළිගත් ප්‍රසම්පාදන පිළිවෙත අනුව සිදු වුවක්. අත යටින් කිසිදු ගසාකෑමක් සිදු වී නැති බව පරම සත්‍යයි.
මෙම ගනුදෙනුවේදී ස්වාධීනව රජය තීන්දු කරන්නේ මේ ටෙන්ඩරය වෙනුවෙන් ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක් සහ ලිට්‍රෝ සමාගම සපයා ගත් මිලියන 20 සමඟ ඩොලර් මිලියන 90 වැය කිරීමටය. ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ව මේ වෙනුවෙන් වැය කිරීම තුළම මේ ගනුදෙනුව තුළ කිසිදු අයථා කටයුත්තක් වීමේ ඉඩකඩක් නැත. කොමිස් කාක්කන්ට කුට්ටි කඩා ගන්නට ගසා කන්නට ලෝක බැංකුව දැඩි අධීක්ෂණයේදී හැකියාවක් නැත. අවම වශයෙන් සැක සහිත කරුණක් හෝ තිබුණා නම් මීට සති දෙකකට පෙර ලිට්රෝ සමාගම සහ ලෝක බැංකු නියෝජිතයන් අතර පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ප්‍රශ්න කෙරෙන්නේය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. මෙම සමාගම් දෙක අතර නැව් ගාස්තුවල පරතරය ඩොලර් 17ක් වන අතර එහි බලපෑම 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 77.50 පමණය. එහෙත් එම පාඩුව දරාගෙන හෝ අඛණ්ඩ ගෑස් සැපයුම ලබා දීම එම අවස්ථාවේදී වැදගත් බව ලිට්‍රෝ සමාගම තීරණය කර තිබිණ. ඒ තුළ වූයේ රටේ පැවති තත්ත්වය කළමනාකරණය කර ගැනීම බවත්, එසේ නොවන්න ගෑස් හිඟය සිවිල් තත්ත්වයක් දක්වා වුවත් යාමේ අවධානමක් පැවති බව කෝප් කමිටු සභාපතිවරයා අවබෝධ කොට නොගැනීම කනගාටුවට කරුණකි. එසේම රාජ්‍ය මට්ටමින් හෝ ඊට අනුබද්ධ සමාගම් ලෙස මෙවැනි ගනුදෙනු පවත්වන නෛතික ක්‍රියාවලියක් ඇත. ඒ හා බැඳුණු අණ පනත්, චක්‍රලේඛ ආදිය ඇත.
දැන් යමින් සිටින්නේ ඒ සුබ ගමනය. කවුරුත් අත ගැසිය යුතු මේ මල් වට්ටියට ගෑස් ටෙන්ඩරයක් ගැන බොරු බිල්ලකු මවා කරන මේ බාල දේශපාලනය නම් ගෑවෙන්න දිය යුතු නැත. මේ ගනුදෙනුව පාඩුවක් බව ඇත්තය. නමුත් ඒ හදිසි අවස්ථාවක් වෙනුවෙන් ගත් කෙටි කාලීන පියවරක් බැවින් එය ගසාකෑමක් යන වර්ගීකරණය ලක්කොට ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වගකිව යුතු දේශපාලඥයකුගේ වගකීම නොවේ. මේ ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය පැවැත්වීමට සියලු නිත්‍යානුකූල ක්‍රමවේදයක් ගැන ඇති ලිඛිත දත්ත මෙම ගනුදෙනුව ගසාකෑමක් බවට නැඟෙන චෝදනා ඉතිහාසයේ කුණු බක්කියට විසිකර දමනු නියතය. මෙම ගනුදෙනුවේ ගසෙකෑමක් නැති බවට ‘චරිතටත්’ සුචරිතවත් ලෙස තේරුම් යනු ඇත්තේ එදාටය.