තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තයේ වැඩිම කාලයක් පාලනය ගෙන ගිය රජු ලෙස ඉතිහාසයට එක් වූ රජෙකි. චක්‍රී නමැති රාජවංශයේ නව වැනි රජු බවට පත් වූයේ මෙතුමායි. වයස අවුරුදු 18 දී රජ බවට පත් වූ භූමිබෝල් රජු වර්ෂ 1946 සිට 2016 වසරේ මිය යන තුරුම පාලනය ගෙන යනු ලැබුවා. භූමිබෝල් අදුල්යාදේජ් උපත ලැබුවේ වර්ෂ 1927 දෙසැම්බර් මස 05 වන දිනයි.
මොහුගේ පියා මහිදෝල් අදුල්යාදෙජ් නම් වූ අතර, තායිලන්තයේ චූලලොංග්කෝර්න් රජුගේ 69 වන දරුවා වුණා. මහිදෝල් අදුල්යාදෙජ් තායිලන්තයේ නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙසද සලකනු ලබනවා. භූමිබෝල්ගේ මව ශ්‍රීනාගරින්ද්‍රා කුමරිය යි.

භූමිබෝල් අදුල්යාදෙජ්ගේ උපත සිදු වන අවධියේ මොහුගේ පියා හාර්වඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියා. මහිදෝල් අදුල්යාදෙජ් වර්ෂ 1928 උපාධිය ලබා ගත් අතර 1929 දී වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුණා.
භූමිබෝල් අදුල්යාදේජ් මූලික අධ්‍යාපනය බැන්ග්කොක් හි මැටර් ඩෙයි නමැති පාසලෙන් ලබා ගනු ලැබූ නමුත් ඔහුගේ මව විසින් ඔහුව 1933 දී ස්විට්සර්ලන්තයට රැගෙන ගියේ වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දෙනනයි. වර්ෂ 1935 ප්‍රජාධිපොක් නමැති මාමා සිහසුනෙන් ඉල්ලා අස් වූ අතර, ඔහුට දරුවන් නොමැති වීම හේතුවෙන් භූමිබෝල්ගේ වැඩිමහළු සහෝදරයා වූ ආනන්ද මහිදෝල් කුමරු තායිලන්තයේ නව රජු ලෙස නම් කෙරුණා.
භූමිබෝල්ගේ වැඩිමහල් සහෝදයාගේ අභිරහස් මරණය හේතුවෙන් 1946 ජූනි මස නව රජු ලෙස භූමිබෝල් ප්‍රකාශයට පත් කෙරුණා. කෙසේ නමුත් මොහුගේ විධිමත් රාජාභිෂේකය පවත්වන ලද්දේ වර්ෂ 1950 මැයි මස 05 වන දින යි. ව්‍යවස්ථානුකුල රාජාණ්ඩු ක්‍රමය යටතේ රාජාභිෂේකය ලද පළමු රජු බවට භූමිබෝල් අදුල්යාදෙජ් පත් වුණා. රාජාභිෂේකයෙන් අනතුරුව භූමිබෝල්, IX රාමා රජු ලෙස හැඳින්වීම සිදු කළා.
1950 වසරේම අප්‍රේල් මස 28 වන දින කිට්ටියාකර පවුලේ සිරිකිට් නමැති රැජිණ හා විවාහ වීම සිදු වුණා. අනතුරුව දේශපාලන විද්‍යාව සහ නීතිය ඉගෙන ගැනීම සඳහා නැවත ස්විට්සර්ලන්තය බලා පිටත් වුණා.

බොහෝ විට මොහු චාරිත්‍රානුකූල භූමිකාවක් රඟ දක්වනු ලැබුවා. රාජ්‍යයේ නායකයා සහ සන්නද්ධ හමුදා සඳහා අණදෙන නිළධාරියා වුවත් ප්‍රයෝගිකව මොහු භාවිතා කරනු ලැබුවේ ඉතාමත් අල්ප දේශපාලන බලයකි. රජ කෙනෙකු ලෙස මොහු තායි සමාජයේ සහ එහි එක්සත් භාවයේ සංකේතය ලෙස ජීවත් වුණා. එමෙන්ම තායි සමාජයේ බුදු දහමට උපකාර කළ ප්‍රධාන තැනැත්තා ඔහුයි.
මොහුගේ පාලන සමය තුළ දක්නට ලැබුණ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ අනෙක් රජවරුන් මෙන් නොව තායිලන්තයේ සෑම පළාතකම සංචාරය කිරීමයි. එමෙන්ම ජනතාවට ප්‍රයෝජනවත් විය හැකි ආකාරයේ යටිතල පහසුකම් වර්ධනය කිරීම් යෝජනා කරනු ලැබුවා. එමෙන්ම මෙතුමා විසින් ග්‍රාමීය ප්‍රදේශ සඳහා සිදු කරන ලද වැඩ විශාල ලෙස ගෞරවයෙන් පිළිගනු ලැබුවා.
මෙතුමා විසින් කඳුකර ගෝත්‍රයන් එළවළු, පළතුරු සහ කෝපි වගාවට යොමු කිරීම හේතුවෙන් අබිං වගාව 85% කින් පමණ අඩු වීමක් සිදු වූ බව කියනු ලබනවා. ගම්මාන වල මාර්ග, විදුලිය සහ වාරි කර්මාන්ත පද්ධති රජුගේ ග්‍රාමීය සංවර්ධන උත්සාහයන් සහ තායි ගොවිතැන් ක්‍රමයේ නවීකරණයන් සඳහා දායකත්වයන් වනවා.
රාජකීය චිත්‍රලාද මාලිගා ඉඩමේ පශු සම්පත් වර්ධනය, කිරි නිෂ්පාදන, ධාන්‍ය දෙමුහුන් කිරීම, වන සංරක්ෂණය සහ නොයෙක් ආකාරයේ ආහාර සැකසුම් තාක්ෂණික ක්‍රම ආදිය පිළිබඳ පරීක්ෂණ සඳහා ඔහු ආධාර කළා. මෙතුමා විසින් සිදු කරන ලද තවත් ප්‍රධාන වැඩ කටයුත්තක් ලෙස මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කිරීම දැක්විය හැකියි.

දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද මොහු සම්මාන සහ ගෞරව වලට හිමිකම් කියනු ලැබුවා. ඒ අතර වර්ෂ 1990 දී Philae නමැති පදක්කමත්, වර්ෂ 1992 දී UNEP විශිෂ්ටතා රන් පදක්කමෙනුත්, මත්ද්‍රව්‍ය පාලනය සඳහා මැදිහත්වීම හේතුවෙන් වර්ෂ 1994 දී එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය පාලන වැඩසටහෙනුත් පිදුම් ලබනු ලැබුවා.
වර්ෂ 2006 පටන් භූමිබෝල් රජු අසනීප තත්ත්වයෙන් පෙළුන අතර, එතැන් සිට ඔහුගේ සෞඛ්‍ය හීන වීමත්, නිතර නිතර රෝහල් ගත කිරීමත් ආරම්භ වුණා. වර්ෂ 2016 ඔක්තෝබර් මස 16 වන දින 88 වන වියේ පසු වූ භූමිබෝල් රජු ජීවිතක්ෂයට පත් වුණා.
ජිවිතක්ෂයට පත්වෙන්න කලින් රජු හා රැජිනට එක් කුමාරවරයෙක් හා කුමරියන් තිදෙනෙක් සිටියා. එම වැඩිමහල් මහා වචිරලොංග්කෝන් යන කුමරු එකම පුත්‍රයා වූ අතර සිය පියාගේ අභාවයෙන් පසු වර්ෂ 2016 මොහු සිහසුනට පත්වුණි.
අන්තර්ජාලයේ වීඩියෝවක අපට දැකගන්නට ලැබුනා භූමිබෝල් අදුල්යාදේජ් රජුට උපහාර දැක්වීම සඳහා සාමාන්‍යයෙන් ලංකාවේ ඉතාමත් සුලබව අපට දැකගන්නට ලැබෙන “සුදු ඇලි ඇතුන්” භාවිතාකරගෙන එම අලි ඇතුන් බෙහෙවින් පුරුදු පුහුණු කර රජුට උපහාර දක්වන්නට ප්‍රදර්ශනය කරන ලද ඉතාමත් සුන්දර උපහාර දක්වන දසුන් පෙළකි.
ඇලි ඇතුන් රජුට උපහාර දැක්වීමට සුන්දර ලෙසින් රත්තරන් පාටින් ඇදුමින් සැරසී මාලිගය වටේම ගොස් රාජ මාලිගය ඉදිරිපස සිට ඇතුන් ශබ්ද කරමින් රජුට උපහාර දක්වන ආකාරය මෙම දසුන් පෙලින් ඔබට දැකගන්නට පුළුවනි එම දසුන් පෙළ පහලින් නරඹන්න,
