Local News

වව්නියාවේ ටියුෂන් ගිය සිසුවියගේ සිරුර පාළු ළිදක

වව්නියාව, ගනේෂපුරම්, මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පාළු ළිඳක තිබී වයස අවුරුදු දාසයක පාසල් සිසුවියකගේ මළ සිරුරක් පෙරේදා (30) රාත්‍රියේ සොයා ගත් බව නෙළුක්කුලම පොලිසිය කියයි.

සවස් කාලයේ අමතර පන්තියකට සහභාගි සහභාගි වී යළි නිවසට නොපැමිණි දියණිය සම්බන්ධයෙන් මවුපියන් නෙළුක්කුලම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ සෝදිසියකදී එම ප්‍රදේශයේ පාලු ඉඩමක පිහිටි ළිදක් තුල තිබී සිසුවියගේ සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.

එලෙස මිය ගොස් ඇත්තේ මරක්කාරම්පලෙයි , ගනේෂපුරම්, නෙළුක්කුලම, වව්නියාව යන ලිපිනයේ පදිංචි රාසේන්ද්‍රන් යදුර්සි නමැති වයස අවුරුදු දාසයක පාසල් ශිෂ්‍යාවකි.

සවස තුනට පමණ මියගිය සිසුවිය අමතර පන්ති සඳහා ගනේෂපුරම් වෙත ගොස් ඇති අතර පන්ති නිමවීමෙන් පසු සිසුවිය නැවත නිවසට නොපැමිණි බවත් මරණය සැක සහිත බවට මාපියන් විසින් නෙලුක්කුලම පොලිසියට ප්‍රකාශ කොට තිබේ. සිසුවියගේ සිරුර සොයාගත් ළිඳ පිහිටි ස්ථානය පාළු ස්ථානයක් බවත් එම ඉඩමේ කිසිවකු පදිංචි නොමැති බවත් සිසුවියගේ පාසල් උපකරණ සියල්ල ඇය මියගොස් සිටි ස්ථානයට මීටර් සියයක් දුරින් හමුවූ බව පොලිසිය පැවසීය.

සිරුර සොයා ගැනීමත් සමග ප්‍රදේශවාසීන් සිසුවිය ඝාතනය කොට ඇති බවට පවසමින් එම ස්ථානය නොසන්සුන්ව හැසිරී ඇති අතර උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා නෙලුක්කුලම පොලිසිය යුද හමුදාව ද කැඳවනු ලැබීය.

පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් නිලධාරීන් ගේ සහයෝගය මත විමර්ශන සිදුකළ ද සිසුවියගේ මරණය ඝාතනයක් යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය සදහන් කලේය. මරණය සම්බන්ධයෙන් වව්නියාව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් හා රාජ්‍ය බුද්ධි නිලධාරින්ද යොදවා විමර්ශන සිදුකරන බව පැවසීය.

මියගිය සිසුවියගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි. නෙලුක්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment