රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එම සමීක්ෂණයට අනුව මෙරට පවුල් සියයට 60.5ක මාසික ආදායම අඩු වී ඇති අතර, පවුල් සියයට 91ක මාසික වියදම වැඩි වී ඇති බව අනාවරණය වී තිබේ.
වර්තමානයේ දී පවුල් සියයට 3.4ක පමණක් ආදායම ඉහළ ගොස් ඇති අතර, පවුල් සියයට 36.6ක ආදායම නොවෙනස්ව පවතින බව වාර්තා වේ.
ආදායම් අඩු වූ පවුල්වලින් සියයට 73.6ක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සියයට 6.ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආදායම් අඩු වූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් ආහාර සහ මුදල් ඉල්ලා ගැනීම ආදී කරුණු සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.
මෙරට පවුල්වලින් සියයට 22ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය බරින් පීඩාවට පත් ව සිටින බව ද සඳහන්ය.
ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ මාර්තු මාසයෙන් පසු රැකියා නියුක්ත පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකගේ ප්‍රධාන රැකියාවේ වෙනස්කම්වලට මුහුණදීමට සිදු ව ඇති බව අනාවරණය වී ඇත.
රැකියාවලට නොපැමිණීම, වැඩ කරන පැය ගණන අඩු කිරීම, වැටුප් හෝ දීමනා කපාහැරීම සහ ආදායම් අහිමි වීම වැනි වෙනස්කම් එහි දී සිදු ව ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් ආර්ථිකය අර්බුදය හේතුවෙන් පුද්ගලයින් සියයට 14.2කට රැකියා අහිමි වී ඇති අතර, ඉන් බහුතරය පිරිමි පුද්ගලයින් බව ද අනාවරණය වී තිබේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් අධ්‍යාපනයට ද බාධා එල්ල වී ඇති අතර, වයස අවුරුදු 3ත් 21ත් අතර සියයට 54.9ක අධ්‍යාපනයට එමගින් බලපෑම් එල්ල වී ඇති බව අදාළ සමීක්ෂණයෙන් හෙළි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම බාධා හේතුවෙන් සියයට 53.2ක් ලිපි ද්‍රව්‍ය සඳහා සිදු කරන වියදම් අවම කිරීම හෝ ලිපිද්‍රව්‍ය මිල දී ගැනීමෙන් වැළකී සිට ඇති අතර, සියයට 44ක් අලුතින් නිල ඇදුම් මිල දී ගැනීමට සිදු කරන වියදම් කපා හැර ඇති බව අනාවරණය වී තිබේ.
2023 මාර්තු මාසයෙන් පසුව මෙරට ජනතාවගෙන් සියයට 29ක් රෝගාබාධයන්ට ගොදුරු වී ඇති අතර, ඉන් සියයට 7ක් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රතිකාර ක්‍රම වෙනස් කර ඇති බව වාර්තා වේ.
එම ප්‍රතිකාර ක්‍රම වෙනස් කළ රෝගීන්ගෙන් සියයට 35.1ක් ප්‍රතිකාර කරන ස්ථාන වෙනස් කර ඇති අතර සියයට 33.9ක් ඖෂධ භාවිතයට යොමු ව ඇත්තේ සිය රෝගය අසාධ්‍යය තත්ත්වයට පත් වූ විට පමණක් බවට අනාවරණය වී තිබේ.
ප්‍රතිකාර වෙනස් කළ රෝගීන්ගෙන් සියයට 81.7ක්ම එම වෙනසට මූලික හේතූව ලෙස ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමාණවත් මුදල් නොමැති වීම බවයි.
2019 පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල වූ අතර, කොවිඩ් වසංගතයෙන් පසු එම අර්බුදය තවදුරටත් දරුණු වූ බවත් අර්බුදයට මුහුණ දීම සඳහා අභියෝග රැසකට ජනතාව මුහුණ දී සිටින බවත් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.