ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 55.7% ක් හෙවත් ලක්ෂ 123ක් පමණ ක්ෂේත්‍ර රාශියකින් බරපතළ අවදානමකට ලක්ව ඇත. එයින් ලක්ෂ 60ක පමණ ජන පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එ.ජා. සංවර්ධන වැඩසටහන හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව පවත්වන ලද පුරවැසි සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
එම වාර්තාව කොවිඩ් 19 අර්බුදයෙන් පසු ජනතාවට මුහුණදීමට සිදුවූ අර්බුද සම්බන්ධයෙන් කරන ලද තක්සේරුවකි. පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් ලබාගත් දත්ත ආශ්‍රිතව සමීක්ෂණ වාර්තාව පිළියෙළ කර ඇති බවද එහි සඳහන්ය.
එම වාර්තාව එළිදක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිතවරිය වන අසූසා කුබෝටා මහත්මිය සඳහන් කළේ ලෝක බැංකු දත්තවලට අනුව 2021 සහ 2022 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව දෙගුණ වී ඇති බවයි. 2022 වසරේ පැවැති අධි උද්ධමනකාරී තත්ත්වය යටතේ බොහෝ පිරිසකට ආහාර සපයා ගැනීම අසීරු වී ඇති බවය.
සෑම දිස්ත්‍රික්කයකම විවිධ අවදානම් පැවතියද ඇතැම් දිස්ත්‍රිකයන්හි අවදානම් තත්ත්වය ඉහළ මට්ටමක පවතින බව වාර්තාව පෙන්වා දෙයි. වැඩිම අවදානම් තත්ත්වයක් පෙන්නුම් කරනුයේ පුත්තලම දිස්ත්‍රික්කයයි. එය 71.8% කි. මඩකලපුව, මුලතිව් කිලිනොච්චිය අම්පාර, වවුනියාව සහ නුවරඑළිය පිළිවෙළින් ඉහළ දරිද්‍රතා අගයන් පෙන්නුම් කරන සෙසු දිස්ත්‍රික්ක වේ. මෙම ප්‍රදේශවල ජනතාවගෙන් 65% ක් පමණ අවදානමට මුහුණ දී සිටී. අවදානම අවම දිස්ත්‍රික්කය වන්නේ මාතලේ දිස්ත්‍රික්කයයි. එය ප්‍රතිශතයක් ලෙස 41.5% කි.
මෙරට සෑම දස දෙනකුගෙන් හය දෙනකු (55.7%) ක්ෂේත්‍ර ගණනාවකින් අවදානමට ලක්වන අතර, සමස්ත වශයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ලක්ෂ 123 ක් අතරින් ලක්ෂ 101 ක්ම ග්‍රාමීය ජනතාව යැයි වාර්තාව සඳහන් කරයි. අවදානමට ලක්විය හැකි පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය. එය ලක්ෂ 13 කි. කොළඹ දිස්ත්‍රික්කයේ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 12 කි. ආහාර, වෛද්‍ය ප්‍රතිකාර සහ අධ්‍යාපනය වැනි අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පවුල් වශයෙන් ණය වී ඇති ප්‍රමාණය 33.4% කි. 35.6%ක් ජල අවශ්‍යතා සපුරාගත නොහැකිවීමේ අවදානමට ලක්ව තිබේ.