Saturday, September 28, 2024
22 C
Sri Lanka

හැමෝම බලන ‘කොඩි ගහ යට’ ගැන නදීෂා කියපු කතාව..

කොඩිගහයට කියන්නේ මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් විකාශය වන ටෙලිනාට්‍යයක්. ජීවනී කියන්නේ කොඩිගහයට ටෙලිනාට්‍යයේ කැපී පෙනෙන චරිතයක්. ඒ එම චරිතය ප්‍රතිනිර්මාණය කරන රංගන ශිල්පිනිය නිසයි. ඒ චරිතයට පණපොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන නදීශා හේමමාලිය.

ජීවනීගේ චරිතය වගේම ඊට ලැබෙන ප්‍රතිචාර ගැනත් නදීශා සති අන්ත පුවත් පතක් සමඟ අදහස් හුවමාරු කර ගෙන තිබුණා.

කොඩිගහයට ටෙලිනාට්‍යයේ ඔබ රඟදක්වන චරිතය ගැන කතා කළොත්?

කොඩිගහයට ටෙලිනාට්‍ය ජගත් මනුවර්ණගේ අධ්‍යක්ෂණයක්. දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, රන්දික ගුණතිලක, නලින් ලුසේනා, තරින්දි ප්‍රනාන්දු, සම්පත් ජයවීර ඇතුළු අති දක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන් මේ ටෙලිනාට්‍ය ඇතුළේ ලොකු කාර්යභාරයන් ඉටුකරන වග මුලින්ම කියන්න ඕන. ඒ වගේම කොඩිගහයට කියන්නේ ජීවන අරගලයක නිරත වන සියලුම මිනිසුන් ගැන කතා කරන ටෙලිනාට්‍යයක්. කොළඹ නගරයේ ජීවත්වන පැල්පත්වාසී මිනිසුන් කිහිපදෙනකු වටා ගෙතුණ කතාවක් තමයි කොඩිගහයට කියන්නේ. එහි මම රඟපාන්නේ ජීවනී කියන චරිතය. ඇය විවිධ සමාජ, දේශපාලන, ආර්ථික අර්බුදවලට මුහුණ දෙන කාන්තාවක් සහ ඒ අභියෝග ජයගන්නට උත්සාහ කරන කෙනෙක්.

ඉතින් නදීශා, ජීවනීගේ චරිතයට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

අතිශය ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මට හිතාගන්නවත් බැරි ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා යන යන තැන. ගොඩක් අය මට දැන් කතා කරන්නෙත් ජීවනී කියලා, නැත්නම් සුදූ කියලා. හරිම සුන්දරයි ඉතින් ලැබෙන ප්‍රතිචාර.

නදීශා හේමමාලි සහ ජීවනී කියන චරිතය අතර තියෙන සමානකම් සහ වෙනස්කම් ගැන කතා කළොත්?

ඇත්ත ජීවිතේදී නම් නදීශා හේමමාලි කියන්නේ වෘත්තීය රංගන ශිල්පිනියක්. හරිම සැහැල්ලුවෙන් ජීවත්වන කාන්තාවක්. ඒත් නදීශාට ජීවනී කියන චරිතයේ අත්දැකීම් නම් ඇත්ත ජීවිතයේදී නැහැ. ජීවනීගේ චරිතය නදීශා හේමමාලිට රංගන ශිල්පිනියක් විධියට අලුත්ම අත්දැකීමක්. ඒත් අවට සමාජයේ ජීවත්වන ජීවනීලා මට මුණ ගැහිලා තියෙනවා. ඇය ඇත්තටම ජීවිතයේ බාධක කම්කටොලුවලට මුහුණ දෙන කාන්තාවක්. ඇය ඉතාමත් මධ්‍යස්ථව හිතන පොළොවෙ පය ගහලා ජීවත්වෙන ගැහැනියක්.

ජීවනීගේ චරිතය නදීශාට අලුත්ම අත්දැකීමක් කිව්ව නිසාම මේ ප්‍රශ්නය අහන්නම්. නදීශාට මේ චරිතය අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම පිටපත කියවද්දී මට ඒ චරිතේ දැනුණා. ඒ අනුව මම ඒක ප්‍රතිනිර්මාණය කරනවා. ලැබෙන ප්‍රතිචාර එක්ක මම සාර්ථකයි කියලා හිතෙනවා. ඒ වගේම අපි ෂූටිං කරන ඒ ප්‍රදේශයේ ඉඩකඩ සීමිත වුණාට ඒ මිනිස්සු හරිම හොඳයි. පුදුම විධියට සුහදශීලීව සහයෝගයෙන් වැඩ කරන්න අවස්ථාව ලබාදුන්නා.

කොඩිගහයට ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයට පැමිණෙන අලුත් රංගන ශිල්පීන්, ශිල්පිනියන් සමඟ වැඩ කිරීමෙන් ලැබෙන අත්දැකීම කොහොමද?

ඒ පිරිස පුංචි තිරයට අලුත් වුණාට සියලුමදෙනා වේදිකාවට හොඳින් හුරුපුරුදු අය. ගොඩක් දෙනා ඇකඩමික් සයිඩ් එකේ වැඩ කරපු අය. ඒ වගේම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, කථිකාචාර්යවරියන්. ඉතින් ඒ වගේ දක්ෂ පිරිසක් සමඟ රඟපාන්න ලැබුණු අත්දැකීමට හරිම ආසයි. ඇත්තටම මමත් තවම මාව ප්‍රවීණ රංගන ශිල්පිනියක් විධියට හඳුන්වන්නේ නැහැ. මොකද මමත් තාම ඉගෙන ගන්න කෙනෙක්. කොඩිගහයට අපි සියලුදෙනාම පවුලක් විධියට වැඩ කරගෙන යනවා. තේ හදන කෙනාගේ සිට කැමරා ශිල්පියා දක්වා, අංගරචනය, වේශනිරූපණය කියන සියලුම දෙනා එකම පවුලක් විධියට කොඩිගහයට ලස්සන කරන්න කැපවෙනවා. ඉතින් හරිම ආදරණීයයි. ඒක හරිම ලස්සන අත්දැකීමක්.

නදීශා ඔබව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින් ඉතින්, ඒ ඇයි?

ඇත්තටම මම චරිත තෝරා බේරාගෙන තමයි රංගනයේ යෙදෙන්නේ. මම ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්න කෙනෙක් නෙවෙයි. මොකද මම කැමැති නැහැ එකම වර්ගයේ චරිතවලට කොටුවෙන්න. මම පිටපත හොඳින් අධ්‍යයනය කරනවා. ඒ වගේම රඟපාන ශිල්පීන්, ශිල්පිනියන් කවුද කියලා සොයා බලනවා. ඒ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් තමා මම චරිත භාරගන්නේ. මම කරන දේ බොහෝ විශ්වාසයෙන් කරනවා. අනෙක් කාරණය තමයි ඉඳලා හිටලා හොඳම දෙයක් කළාම මිනිසුන්ට ඒ දේ හොඳටම මතක හිටිනවා. මම මුල් කාලේ කරපු චරිත පවා මිනිස්සු අදටත් මතක් කරනවා. ඒක ඇත්තටම සතුටු හිතෙන කාරණයක්. ඉතින් මම කරපු තෝරා බේරාගැනීම්වල ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතුවම මට සතුටක් දැනෙනවා.

ඉතින් නදීශා කලාවට ආපු විධිය ගැනත් අපි පොඩ්ඩක් මතක් කරමු නේද?

ඇත්තටම මම මුලින්ම එන්නේ නර්තන ශිල්පිනියක් විධියට. දේශප්‍රිය මිහිරිතැන්න, නන්දකුමාර වගේ දක්ෂ ගුරුවරුන් යටතේ නර්තනය හැදෑරුවා. රංගධාරා කියන රූපවාහිනි වැඩසටහනකට මම නර්තනයක් ඉදිරිපත් කළා. ඊට පස්සේ පුවත්පතක මුල් පිටුවේ ඉන්න අවස්ථාවක් ලැබුණා. ඊටත් පස්සේ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ඒත් එක්කම හාට්බීට් කියන වැඩසටහනට එකතු වුණා නිවේදිකාවක් විධියට. ඒ විධියට වැඩ කරගෙන යනකොට තමයි මට මුලින්ම අවස්ථාව ලැබෙන්නේ “කටු කුරුල්ලෝ” කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන භූමිකාවක් රඟපාන්න. ඊට කලින් දාමිණි කියන ජනප්‍රිය ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙන්න මට පුළුවන් වුණා. ඒ වගේම පුලින ප්‍රාසාද කියන ටෙලිනාට්‍යයේ මම රඟපෑ චරිතයට සම්මානයක් ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. ඒ හොඳම නැඟී එන නිළිය විධියට. තාරකා මල් චිත්‍රපටය තමයි මගේ පළමුවැනි චිත්‍රපටය. ඊට පස්සේ ඉන්දියාවේ තෙලිඟු චිත්‍රපටයකටත් මම දායක වුණා. ඒ වගේ බොහෝ රසමුසු ඉතිහාසයක් තියෙනවා මට රංගනය පැත්තෙන්.

ඉදිරි කලා කටයුතු මොනවද?

මේ දවස්වල ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ කුලුඳුල් චිත්‍රපටයක් වන “මීදුම තරණය”ට මමත් රංගනයෙන් දායක වෙනවා. නාලක විතානගේ මහත්මයාගේ යූටියුබ් නාළිකාවට කරන නාට්‍යයක රූගත කිරීම්වලටත් ලෑස්ති වෙනවා. ඉතින් මගේ සාරි ව්‍යාපාරයෙත් වැඩකටයුතු කරගෙන යනවා.

ඇත්තටම ටෙලිනාට්‍ය කලාව ගත්තොත් අද ගොඩක් ටෙලිනාට්‍ය විකාශය වුණාට ඇත්තටම හොඳ නිර්මාණ තිබෙන්නේ අතළොස්සයි. ඒ ගැන නදීශාට මොනවද කියන්න තියෙන්නේ?

ටෙලිනාට්‍ය ගැන නම් අපේ රටේ විශාල ඛේදවාචකයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තිබෙන බව පේනවා. මොකද බොහෝමයක් රූපවාහිනි නාළිකාවලින් එයාලම ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා. ඔවුන් හුදෙක්ම මූල්‍යමය වාසි විතරයි බලන්නේ. එතැනදී නාට්‍යයේ ගුණය ගැන සලකා බලන්නේ නැහැ. ඒත් අපි කුසලතාවලට මුල්තැන දෙන්න අවශ්‍යයි. අවර ගණයේ නිර්මාණවලට ප්‍රචාරණය ඉහළින්ම ලබාදෙනවා. නමුත් මිනිසුන්ට බලන්න හොඳ දේවල් නැහැ. ඉතින් මම විශ්වාස කරනවා නාළිකාවලින් කරන මේ අපරාධය අනිවාර්යයෙන්ම වැළැක්විය යුතුයි කියලා. නිර්මාණ කරන විට පිටපත් තෝරා බේරා ගන්නවිට කණ්ඩායමක් සිටිය යුතුයි. ඒ වගේම පිටපත් පිළිබඳව අවබෝධයක් දැනුමක් තියෙන

කණ්ඩායමකින් හොඳ පිටපත් තෝරලා ඒවා ටෙලිනාට්‍ය බවට පත්විය යුතුයි. ඉස්සර කාලේ විකාශය වුණු පළිඟු මැණිකේ, කන්දේ ගෙදර, අඹ යහළුවෝ, දූ දරුවෝ වගේ හොඳ නිර්මාණ ගැන අපි අදටත් ආදරයෙන් කතා කරනවා. ඒ වගේම අලුත් අයටත් අවස්ථාව දෙන්න ඕනේ. නමුත් බොහෝමයක් අලුත් අය එන්නේ රංගනය ගැන කිසිම අවබෝධයක් නැතිව. මම කියන්නේ නැහැ මම ප්‍රවීණ රංගධරයෙක් කියලා. නමුත් මම අදටත් ඉගෙන ගන්නවා. මම හිතන්නේ අපි දෙයක් කරන විට මූලික දැනුමක් අවශ්‍යයි. රූපය පමණක්ම මදි. හැදෑරීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද ඕනෑම වෘත්තීයභාවයක් හැදෙනවා නම් හැදෙන්නේ හැදෑරීම් මත.

– දූලී සමන්මලී නැලිගම

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img