පොලිතින් ප්ලාස්ටික් භාවිතය ඉහළ ගොස් තිබෙන හෙයින් මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදී සොයාගෙන ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ පැවසීය.
මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ ගාල්ලේ පසුගිය දා පැවැති අන්තර් පාසල් නිල් සාගර නියමු බලකා වැඩ සටහනේ දෙවැනි වැඩ මුළුවේදීය.
වෙරළ තීරය ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මෙම වැඩමුළුවට ගාල්ලේ පාසල් 24ක සිසු සිසුවියෝ 300ක් පමණ සහභාගි වූහ.
එහිදී ඒ ඔහුමෙසේද කීය.”මේ ප්ලාස්ටික් දිරාපත්වීමට වසර දෙසීය පණහක් තුන්සීයක් විතර යනවා.නමුත් අද මේවා ජන ජීවිතයේ මෙවලමක් බවට පත්ව තිබෙන නිසා නිෂ්පාදනයද වැඩිවෙලා.නමසිය පණහ දශකයේ පටන්ගත් පොලිතින් නිෂ්පාදනය අද වනවිට සිඝ්‍ර ලෙස වර්ධනය වෙලා.පහසුවටත් ලේසියටත් මේවා ගන්නවා. නමුත් මේවායින් ඇතිවන අහිතකර බලපැම වැඩියි.සමහරවිට සොයා ගැනීමට බැරි ලෙඩ රෝග පවා ඇතිවීමට පුළුවන්.මේවා ජල ප්‍රවාහවලට එකතු වෙනවා.එයට අමතරව බැටරි කෑලි රේසර් වැනි බැර ලෝහවල තිබෙන රසායනික ද්‍රව්‍යද විශාල ලෙස ජල ධාරාවන්ට එක්ව මුහුදට ගලා යනවා.එවිට ඒවා කුඩා අංශුවලට කැඩී මුහුදු ජීවින්ටද බලපානවා.මාළුන්ට ශරීරගත වෙනවා.අපි ඒ මාළු ආහාරයට ගන්නවා.ඒ වගේම පිට රටවලිනුත් මේවා අපේ සාගරයට පාවී එනවා.චීනය, බංග්ලාදේශය, මියනමාරය,ඉන්දුනීසියාව ආදි රටවලින් එසේ පාවී එනවා.ෆයිබර් ග්ලාස් බෝට්ටුත් භයානකයි.
අප නොදැනුවත්වම මයික්‍රො ප්ලාස්ටික් ශරීර ගත වෙනවා. අම්බලන්ගොඩ සිට තංගල්ල දක්වා මුහුදු තීරයේ මුහුදු වැලි සහ ජලය රැගෙන ඒවායේ මයික්‍රො ප්ලාස්ටික් තිබේද යන්න බැලුවා.ඒ සෑම එකකම මයික්‍රො ප්ලාස්ටික් තිබුණා.එයිනුත් විශේෂයෙන්ම රත්ගම හික්කඩුව වැලිගම දෙවිනුවර ආදි ධීවර සහ සංචාරක ප්‍රදේශවල වැඩියි.ඉතාලියේ මව්වරුන් තිස් පස්දෙනෙක් තෝරාගෙන කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ මව්වරුන් විසි පස් දෙනෙකුගේම කිරිවල මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවයි. මේ මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයේ තිබෙනවා. හුස්ම ගන්නාවිට පෙණහලුවල තැන්පත්වීමට පුළුවන්.ඒ වගේම ඇඟේ ගාන සමහර රුපලාවණ්‍ය ආලේපනවලත් තිබෙන්නට පුළුවන්.මේවාට නිසි කසළ කළමනාකරණ ක්‍රමයක් තිබිය යුතුයි. අනෙක් කාරණය පොලිතින් ප්ලාස්ටික් වගේම ඇලුමිනියම්ද අහිතකරයි. ඒනිසා හැකි සෑම අවස්ථාවකම පොලිතින් ප්ලාස්ටික් අඩුවෙන් පාවිච්චි කරන්න”