1630 වසරේදි ශ්‍රී ලංකාවට මුලින්ම වහල් සේවය සදහා මොසැම්බික්, මැඩගස්කර් වැනි රටවල් වලින් කාපීරි ජනතාව රැගෙන ආවේ පෘතුගීසීන් විසිනුයි. 1796 වසරේදී ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින්ගේ පාලනයට යටත් වීමත් සමගම වහල් සේවය සදහා රැගෙන ආ මෙම කාපිරී ජනතාව රාජ්‍ය සේවයේ පහළ කම්කරු තනතුරුවලට යෙදවීමට බලධාරීන් කටයුතු කලා. වර්තමානයේ කොම්පඤ්ඤවීදිය නමින් හඳුන්වන ස්ථානය අතීතයේ හැදුන්වූයේ කාපීරි ජාතිකයන් රදවා තිබුනු වහල් දූපත ලෙසයි. බ්‍රිතාන්‍ය රජය විසින් පසුකාලීනව මෙම කාපීරි ජනතාව වෙනුවෙන් සේනාංකයක් නිර්මාණය කල අතර එම සේනාංකය වෙනුවෙන් 1875 වසරේදී බැරැක්කයක්ද ඉදි කර තිබුණා. මේ බැරැක්කයේ එක් මායිමක් ලෙස බේරේ වැව සලකා තිබූ බව සදහන්. පසුකාලීනව මෙම සේනාංකය ගාල් කර තිබූ බැරැක්කය කාපීරි මුඩුක්කුව ලෙස ව්‍යවහාර වෙන්නට පටන් ගත්තා.
කාපීරි මුඩුක්කුවේ වාසය කල පිරිස් අතරින් බහුතරය නූගත් පුද්ගලයන් වූ අතර ඔවුන් එදිනෙදා ජීවනෝපාය සරි කර ගත්තේ මුට්ට කරගැසීමෙන් හෝ නගරසභාවේ කුණු ඇදිමේනුයි. මුළු මුඩුක්කුවටම පැවතුනේ එක් ජල පයිප්පයක් පමණක් නිසා පැය 24 පුරාම එම පයිප්පය ඉදිරියේ ජල පෝලීම් දකින්නට ලැබුණා.
ඒවගේම චන්ඩින්ගේ රජදහනක් වූ මෙම මුඩුක්කුවේ ඩේවිඩ් අයියා, රෙජි අයියා, කෝට් සෙල්ලයියා, ගෝරිල්ලා, බණ්ඩා, මුර්ග විලේ අයියා වැනි නම් රැගත් චන්ඩීන් විශාල ප්‍රමාණයක් වාසය කර තිබෙනවා. ඔවුන්ගේ බල පුළුවන්කාරකම කොතෙක්ද යත් පොලීසිය පවා මෙම ප්‍රදේශයට යාමට දක්වා තිබුනේ විශාල බියක්. ඒවගේම මේ කාපීරි මුඩුක්කුවල තවත් ජයටම සිදු කෙරුණු ව්‍යාපාරයක් වුනේ පරණ කෝට් සහ ඇදුම් වෙළදාමයි.
කෙසේ වෙතත් අතීතයේ කාපීරි මුඩුක්කුව ලෙස හැදින්වූ මෙම ප්‍රදේශය වර්තමානයේ හැදින්වෙන්නේ රෝහිණි පටුමග සහ කෝසල පටුමඟ ලෙසටයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මෙම කාපීරි ජනතාව දකින්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනුයි. කෙසේ වෙතත් අදටත් අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව පුත්තලමේ සහ මඩකළපුවේ වාසය කරන බව වාර්තා වී තිබෙනවා