Wednesday, September 25, 2024
23.4 C
Sri Lanka

ගෑනු ගොඩක් අසාධාරණවලට ලක් වෙන්නේ බය නිසා.

ගීත රූප රචනාවලින් සහ නිවේදිකාවක් ලෙස කලා ගමන ආරම්භ කර මේ වන විට පුංචි තිරය හැඩගන්වන ශෙහානි කහඳවල ප්‍රේෂක හදවත්වලට ඉතා කෙටි කලකින්ම සමීප වූ රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට විවිධ චරිත හරහා මුණ ගැසෙන, සමාජ මාධ්‍යයේ කතා මවන ශෙහානි මේ දිනවල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් කරළියට එන්නේ වෙනස්ම මුහුණුවරකින්. මේ කතා බහ හැඩකාර කටකාර ශෙහානි සමගයි.

පහුගිය කාලේ මොකද වුණේ?
අවුරුදු දෙකකට විතර පස්සේ තමයි ටෙලි නාට්‍යයකට එකතු වුණේ. කොහොමත් මම ගොඩාක් වැඩවල ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි පහුගිය කාලෙත් නිර්මාණ කිහිපයක් කළා. ඒවා ඉදිරියට විකාශය වෙන්න තියෙනවා. ඒ අතරතුර තමයි සල්ලි පොකුරු ටෙලියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.

වැඩිපුර කැමති පැත්තකට වෙලා ඉන්නද?
එහෙමත්ම නැහැ. කාලෙකදි සද්දෙට ඉන්නවා. කලෙකදි සද්දේ වහලා ඉන්නවා. ඒක තමයි ස්වභාවය. වැඩක් ලැබුණොත් මට ඒක සෙට් වෙනවා නම් ඒ වගකීම හරියටම කරනවා. බොරුවට දඟලලා ප‍්‍රසිද්ධ වෙන්න මම කැමති නැහැ. මේ දවස්වල නම් මාව කාලෙකින් දකින නිසාද මන්දා ලැබෙන ප‍්‍රතිචාර හරිම වෙනස්. ඒ වෙනස් ප‍්‍රතිචාරය ලැබෙන්නේ සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ නිශීට. නිශී කියන්නේ හරිම කටකාර, වලියට බර, විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න හැබැයි හරියට කේන්ති යන චරිතයක්. ඇත්තටම නිශී වගේ චරිතයකින් මාව මිනිස්සු අතරට ගිහින් තිබුණේ නැහැ. ඒ විදිහට මට මාව වෙනස් කරගන්න අවස්ථාව දීපු එකට සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාටත්, ශිවගුරුනාදන් මහතාටත් ස්තූතිවන්ත වෙනවා.

කැමරාව ඉස්සරහ සීරියස් වෙන්න ලැබිලම නැද්ද?
චරිතයක් ඇතුළෙ සීරියස් වෙන්න අවස්ථාව ලැබිලම නැහැ. දඟකාර, කටකාර පෙම්වතිය තමයි මට හැමදාම ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ පැකේජ් එක අස්සේ බෝනස් එකක් තමයි සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ නිශී කියන්නේ. ඒත් මම සැබෑ ජීවිතේ නම් පට්ට සීරියස් චරිතයක්. ගොඩක් වෙලාවට මම සද්ද නොකර පාඩුවේ ඉන්න කෙනෙක්. මම ක්ෂේත‍්‍රයේ ලොකුවට යාළුවෝ ආශ‍්‍රය කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ හැම කෙනෙක්ම මගේ ජීවිතේ ඉන්නවා. ඇත්තම කියනවා නම් මම කැමති නැහැ බැඳීම් ඇති කරගන්න. මම කැමති මගේ ලෝකය නිදහසේ විඳින්න.

ශෙහානිව අපි පහුගිය කාලේ දැක්කේ ටිකක් අමුතු විදිහකට? මොකද්ද ඒ වෙනස?
මම පොඩි කාලේ ඉඳලා හරි කැමතියි ලස්සනට අඳින්න. විවිධ විලාසිතා කරන්න. වෙනස් වෙනස් දේවල් කරන්න. මුලදි එහෙම වෙනස් වුණොත්, සමාජය කොහොම වැලඳගනීවිද කියන සංස්කෘතිය ඇතුළෙ කොටු වෙලා හිටියා. නමුත් පස්සේ කාලේදි මම හිතුවා මම, මමම වෙන්න ඕනෑ කියලා. ඒ කියන්නේ අනෙකාගේ මත වලට ගරු කරන්නේ නැහැ කියන එක නෙමෙයි. මගේ දක්ෂතාවලින් මට තව ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතුවා. මම මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා හිතුණා. එතැනදි තමයි මම නැගිට්ටේ. මට හිනාවෙන්න පුළුවන්, මගේ හිත සතුටු වුණොත් විතරයි. ඒ නිසා මම මගේ නිදහස විඳිනවා කියන තැනට ආවා. මම වැඩිපුරම ආස වෙස්ටන් විදිහට විලාසිතා කරන්න. මගේ ස්වාභාවික කැරලි කොන්ඬේ තමයි මට මුලින්ම වෙනසක් ගෙනැල්ලා දුන්නේ. ඒ අතරේ මගේ ඩාන්සින් සහ ගායනය ප්‍රේෂකයෝ වෙනස් විදිහට වැලඳගත්තා.

ශෙහානි කියන ගායිකාව එළියට එන්නේ වෙනස්ම තැනකදි නේද?
මට පොඩි කාලේ ඉඳලම සින්දු කියන්න පුළුවන්. නමුත් ඒ ගායිකාව මම ඒ කාලේ ඉස්මතු කළේ නැහැ. ශෙහානි කියන ගායිකාව එළියට දාන්නම ඕන කියලා හිතුණේ මීට අවුරුදු දෙකකට කලින්. ඒක කොච්චර ඇඟේ තිබුණත් එළියට දාන්න වෙලාව එන්නම ඕනෑ. ඒක වාසනාව නෙමෙයි, ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසය එන වෙලාව තමයි හරිම වෙලාව. ඒ විදිහට තමයි මම ගායිකාවක් විදිහට කරළියට ආවේ. මේ දවස්වල ගායනය පැත්තෙන් අලුත් වැඩ ටිකක් කරගෙන යනවා. මගේ ගායන ජීවිතේ පැත්තෙන් මට තියෙන්නේ එක හීනයයි. ඒ කවදාහරි දවසක අශාන්ති එක්ක ගීතයක් කරන එක.

ශෙහානිගේ ඩාන්ස්වලට සමාජ මාධ්‍ය කුලප්පු වෙන්නේ ඇයි?
අනේ මන්දා ඉතින්. මගේ නිදහසේ මං කැමති දේ කරනවා. ඒවා කට්ටිය විවිධ විදිහට විඳිනවා. ඇත්තටම මගේ ඩාන්සින්වලට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. නරක ප‍්‍රතිවාර නැහැ. ඒවා හරිම ආදරණීය ප‍්‍රතිචාර ඒ වගේ ආදරයක් ලැබෙන්නේ කෙනෙකුට හරි අඩුවෙන්. මට ඒ ආදරය උපරිමයෙන්ම ලැබෙනවා.

ගොසිප් සම්බන්ධයෙන් මොකද්ද අදහස?
ඇඳුමක් ඇන්දත්, හැරුණත් සමාජයේ ගොසිප් හැදෙනවා. ගොසිප්වලට හේතු ඕන නැහැ. සමහරු මගෙන් ඒ ඒ ගොසිප්වල යන කතා ඇත්තද කියලා අහනවා. මම කිසිම ගොසිප් එකකට උත්තර දෙන්න යන්නේ නැහැ. මම ඒවා හොයන්න ගිහින් කාලය කාදාන්න කැමති නැහැ. මොකද මම ජීවත් වෙන්නේ මට ඕන විදිහට.

කලා ක්ෂේත‍්‍රය ඇතුළෙ ලිංගික අල්ලස්වලට මුහුණ දෙන්න වෙලාම නැද්ද?
ක්ෂේත‍්‍රයට ආපු මුල් කාලේ ඕනැම කෙනෙකුට නොහිතන අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා. ඒක අපි අපේ වාසනාව කොතනද තියෙන්නේ කියලා හොයාගෙන යන කාලයක්. හරියට ලොතරැයියක් හූරනවා වගේ. ඒ ගමනෙදි අනවශ්‍ය මිනිස්සු මටත් මුණ ගැහිලා තියෙනවා. ඒ වගේ දෙයක් මගේ ඇඟට දැනුණු ගමන් මම එතැනින් අයින් වෙනවා. මම කෙළින් කතා කරන කෙනෙක්. මම බයට හිතේ හිරකරගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ගෑනු ගොඩක් අසාධාරණවලට ලක් වෙන්නේ බය කියන දේත් එක්ක. හැබැයි මම මට අසාධාරණයක් වෙන තැනකදි කටපියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඇත්තම කියනවා නම් කටයි මොළෙයි නැත්නම් මේකේ ඔළුව ගහගෙන ඉන්න බැහැ. ඕනම තැනක තමන්ට තමන් වෙනුවෙන් කතා කරන්න ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෑ. අද වෙනකම් දෙයියනේ කියලා දරුණු විදිහට ඒ වගේ බලපෑම් එල්ලවෙලා නැත්තේ මම කෙළින් කතා කරන නිසා.

දැනුණු ප්‍රේමයක් තාම නැද්ද?

දැනුණු ප්‍රේමයන් හමුවෙලා තියෙනවා. නමුත් ඒවා හිමි වුණේ නැහැ. මිනිස්සු අපේ ජීවිතේට එනවා, ආදරෙන් ඉන්නවා, ඒවා මග ඇරෙනවා. ආයේ අලුත් මිනිස්සු අපට හමු වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. මම පේ‍්‍රමය නම් හොයාගෙන යන්නේ නැහැ. ළඟට ආවොත් භාරගන්නවා. මම මගේ ජීවන සහකරුවා විදිහට හොයන්නේ හිත හොඳ, තමන්ගේ මවුපියන්ට ගරු කරන, ජීවිතේ ගැන හොඳ අවබෝධයක් තියෙන, තමන්ට සහ අනුන්ටත් ආදරය කරන කෙනෙක්.

– නදීශා අතුකෝරළ

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img